Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් ඊයේ ( 28 ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) සිදුකළ පරීක්ෂාවකදී, රුපියල් මිලියන 454ක ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි (Ecstasy) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 46 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු රේගු භාරයට ගෙන ඇත.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මෙම මගියා, කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරන ගුවන් යානයෙන් පැරිස් නුවර සිට දෝහා හරහා මෙරටට පැමිණ තිබේ. ගුවන්තොටුපළේදී සිදුකළ වැඩිදුර පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්මෙම මගියා රඳවා ගෙන ඇත.

මගියාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂාවේදී ඒවා කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට කොකේන් ග්‍රෑම් 5,121ක් ඇතුළත් වන අතර, එහි ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 256කි. තවද, ග්‍රෑම් 13,173ක බරින් යුත් එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇති අතර, එය පෙති 23,000කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ. එම එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 198කි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් 454,000,000ක් (මිලියන 454ක්) වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් මූලික විමර්ශන සිදුකරනු ලබන අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ අනෙකුත් අදාළ නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාරදීමට නියමිතය.