Spread the love

දේවින්ද පිණිදිය

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස අද (03) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විශේෂ ආරාධිතයින් පිළිගැනීමේ පරිශ්‍රයේ දී
එම නියෝජිත පිරිස පිළිගැනීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සෞඛ්‍ය) වෛද්‍ය අනිල් සමරනායක යන මහත්වරුන් විසින් සිදු කරන ලදි.

අනතුරුව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කෙටි පිළිසඳරක් ද සිදු කරනු ලැබීය.

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර මෙම සංචාරය අතර තුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත ය.

මීට අමතරව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද මෙම නියෝජිත පිරිස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන් ම රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස හෙට 04 කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට ද නියමිත අතර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමට ද අදහස් කර ඇත.

මෙම සංචාරයේ දී ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව (හුවමාරු, ඒකාබද්ධ පාඨමාලා ආදිය), ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, ඩිජිටල්කරණය, සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්ගේ සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා සෞඛ්‍ය සේවාවේ එක් එක් අංශ සමග සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීමට ද රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස බලාපොරොත්තුව සිටී.

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස සිය තෙදින සංචාරය නිමවා මැයි මස 05 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.