Spread the love

නිමල් රාජපක්ෂ

ලෝක ක්ෂය රෝග දිනය (World Tuberculosis Day) අද (24) දිනට යෙදී ඇති අතර, සෑම වසරකම මාර්තු මස 24 වන දින ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.

මෙම විශේෂ වු දිනය ක්ෂය රෝගය (TB) පිළිබඳව දැනුවත් කිරීම, එය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරව යොදා ගැනේ.

නායකත්වයෙන්, බලගැන්වූ පුරවැසියන් තුළින් ” ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක.” (Yes! We Can End TB: Led by Countries, Powered by People) යන්න මෙවර ලෝක ක්ෂය රෝග දින තේමාව වන අතර, මෙම තේමාව මගින් ක්ෂය රෝගය තුරන් කිරීමේ දී රටක ශක්තිමත් නායකත්වය, තිරසාර කැපවීම සහ සාමුහික වගකීමක අවශ්‍යතාවය තහවුරු කෙරේ.

ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙරට ද ජාතික, දිස්ත්‍රික්, පළාත්, ප්‍රාදේශීය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල (MOH), සෞඛ්‍ය ආයතන මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහන පියවර ගෙන තිබුණි.

ලෝක ක්ෂය රෝග දිනය යෙදී තිබූ අද (24) දින 2035 වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝග තුරන් කිරීම සඳහා වූ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කිරීම සහ කැපවීම සංකේතාත්මකව ප්‍රදර්ශණය කරමින් විශේෂ පළඳනාවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් වෙත පැළැඳවීමට ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ (NPTCCD) අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය ඇතුළු වෛද්‍ය නිලධාරීන් අද (24) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී කටයුතු කරනු ලැබීය.

ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් ජාතික වැඩසටහන් සහ ක්‍රියාකාරකම් දිවයින පුරා ක්‍රියාත්මක අතර, ක්ෂය රෝගය හඳුනා ගැනීම වැඩි කිරීම, ක්ෂය රෝගය මර්දන වැඩපිළිවෙල සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීම, තිරසාර ප්‍රජා සහභාගිත්වය තුළින් දැනුවත්භාවය වැඩි කිරීම, ක්ෂය රෝගය හා බැඳුනු දුර්මතයන් අඩු කිරීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ සෞඛ්‍ය පද්ධතියේ සියලු මට්ටම්වල වගවීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම මෙහිදී සිදු කෙරේ.