නිමල් රාජපක්ෂ
විදේශ රැකියා අපේක්ෂා කරන තරුණ ප්රජාවට නව රැකියා අවස්ථා හඳුන්වාදීම සහ ඒ සඳහා අවශ්ය මඟපෙන්වීම අරමුණු කරගනිමින් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ද්වීප ව්යාප්තව සංවිධානය කරනු ලබන විදේශ රැකියා ප්රවර්ධන වැඩසටහන් මාලාවේ උතුරු පළාත් වැඩසටහන පසුගිය ඔක්තෝබර් 10 වැනිදා යාපනය කනගරත්නම් මධ්ය මහා විද්යාලයේදී පැවැත්විණි.
ධීවර , ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකරන් මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන, වෘත්තීය පුහුණු ආයතන සහ බැංකු ආයතන ඇතුළු පාර්ශව රැසක් එක්ව සිටියහ.
විදේශ රැකියා අපේක්ෂා කරන ජනතාවට විදේශ රැකියා අවස්ථා පිළිබඳ විධිමත් තොරතුරු ලබාදීමත්, තමන්ගේ අධ්යාපනික හා වෘත්තීය සුදුසුකම්වලට ගැළපෙන රැකියා අවස්ථා හඳුනාගැනීමට අවස්ථාව සැලසීමත් මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ විය.
මේ සඳහා බලපත්රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන විස්සකට ආසන්න සංඛ්යාවක් සහභාගි වූ අතර, වෘත්තීය පුහුණු ආයතන සහ පෙර විගමනික ණය පහසුකම් ලබා දීම සඳහා බැංකු ආයතනද ඊට එක්ව සිටියහ.
යුරෝපය සහ මැදපෙරදිග ඇතුළු විදේශ රටවල පවතින රැකියා අවස්ථා පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කරනු ලැබූ අතර, සහභාගි වූ බලපත්රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සමඟ සෘජුව සාකච්ඡා කරමින් තම සුදුසුකම්වලට ගැළපෙන රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ලබාගැනීමට ද ජනතාවට අවස්ථාව හිමි විය.
මෙම වැඩසටහනට සමගාමීව ජපානයේ රැකියා අවස්ථා පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණු අතර, එහිදී ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන තරුණ පිරිස් වෙත නිවැරදිව ජපන් රැකියාවකට යොමු වන ආකාරය සහ ජපානයේ ඇති විවිධ රැකියා අවස්ථාවන් පිළිබඳව තොරතුරු ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.
රැකියා ප්රවර්ධන වැඩසටහනට සමගාමීව විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි විගමනික ශ්රී ලාංකිකයන්ගේ ස්වයං රැකියා නිෂ්පාදන අලෙවිකරණ කටයුතු ප්රවර්ධනය කිරීමේ අරමුණින් විගමනික අලෙවිපොළක් ද සංවිධානය කර තිබිණි.
