නිමල් රාජපක්ෂ
ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උළෙලේ සංවිධාන කටයුතුවල ප්රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්, ලෝක බෞද්ධ සංඝ සභාවේ සංවිධායක කමිටුවේ සභාපති පූජ්ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි, ලෝක බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්ය ආචාර්ය මාඉටිපේ විමලසාර මහා නාහිමි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ පැවැත්විණි.
මෙම සමුළුව නොවැම්බර් මස 28 වැනිදා කැලණිය නාගානන්ද බෞද්ධ විශ්වවිද්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වන අතර, එය දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහනේ අංග කිහිපයක් අනුරාධපුරයේදී මෙන්ම මහනුවරදී ද පැවැත්වීමට සංවිධානය කර ඇති බව මෙහිදී සඳහන් විය.
ලොව පුරා බෞද්ධ රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා ප්රමුඛ දූත කණ්ඩායම් 600කට අධික සංඛ්යාවක්, විදේශ රටවල පදිංචි ශ්රී ලාංකිකයන් 250ක පමණ පිරිසක් සහ දේශීය භික්ෂූන් වහන්සේලා 250ක පමණ පිරිසක් මෙම සමරු උළෙලට සහභාගී වීමට නියමිත බව මෙහිදී සාකච්ඡා විය.
විදේශීය භික්ෂූන් වහන්සේලා ඇතුළු මෙම සමුළුවට සහභාගි වන සියලුම භික්ෂූන් වහන්සේලාගේ සහ දූත කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ද, වෛද්ය පහසුකම්, ප්රථමාධාර සහ අනෙකුත් යටිතල පහසුකම් සැපයීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම සමුළුවට සහභාගී වීම සඳහා විශාල විදේශීය පිරිසක් මෙරටට පැමිණීමෙන් විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමටත්, සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමටත් හැකි වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
එසේම, මෙම සමුළුවේදී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත් මෙරට වෙහෙර විහාරස්ථාන 15ක් අලුත්වැඩියා කිරීම සඳහා එක් විහාරස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් පරිත්යාග කිරීමට ලෝක බෞද්ධ සංඝ සභාව සැලසුම් කර ඇති බව ද මෙහිදී දැනුම් දෙනු ලැබිණි.
සමුළුව පැවැත්වෙන ස්ථාන සහ ඒ ආශ්රිත නගරවලට අවශ්ය යටිතල පහසුකම් සැපයීම හා සැරසිලි කටයුතු සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට ලෝක බෞද්ධ සංඝ සභාවේ සහකාර ලේකම් ආචාර්ය රඹුකේවෙල ඤාණසීහ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද සහභාගී වූහ.
ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න, නියෝජ්ය පොලිස්පති කාලිංග ජයසිංහ සහ ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පරිපාලන අධ්යක්ෂ බ්රිගේඩියර් ඒ.පී.ඒ.ඩී.ඩී. ධර්මකීර්ති යන මහත්වරු, රාජ්ය නිලධාරීහු සහ ආරක්ෂක අංශ ප්රධානීහු ද මෙම සාකච්ඡාවට එක් වූහ.
