Spread the love

මාලන් විතාන –

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කළ යුතු ආර්ථික මට්ටමේ සිටින කාන්තාවන් ඉළක්ක කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.


ඊට සමගාමීව 2026 අයවැය යෝජනා යටතේ “කාන්තා අභිවෘද්ධිය ඉළක්ක කරගත් වැඩසටහන” සඳහා රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.


මධ්‍යම මට්ටමේ ව්‍යවසායිකාවන් ඉහළ මට්ටමේ ව්‍යවසායිකාවක් බවට පත් කිරීම, දෙස් විදෙස් වෙළඳ පොළ අවස්ථා සැකසීම, මධ්‍යම ආදායම්ලාභී කාන්තාවන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම, හිංසනයේ වින්දිත කාන්තාවන් සඳහා සැළකීම වැනි ප්‍රථිඵල අරමුණු කරගනිමින් එය සිදු කරයි.


මේ අනුව ප්‍රතිලාභීන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගනිමින් ජීවනෝපාය සංවර්ධනය සහ ව්‍යවසායකයෙකු ලෙස සංවර්ධනය කිරීම යන අපෙක්ෂා ද්විත්වයම මුදුන්පත් කර ගැනීමට කටයුතු කෙරේ.


දිවි සරණි, දිරිය මං පෙත යන ව්‍යාපෘති හරහා වැන්දඹු හා කාන්තා ගෘහ මූලිකයින්, වතු, ධීවර, විදෙස් රැකියා නියුක්තික, ග්‍රාමීය සහ නාගරික සන සියළු කාන්තාවන් ආවරණය කිරීම සිදුවන අතර ආපදා සහ අර්බුදවලට ලක් වූ සහ නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම වල බලපෑමට ලක් වූ කාන්තාවන්ද ආවරණය සඳහා විශෙෂ වැඩසටහන් සකස් කර ඇත.