Spread the love

නිමල් රාජපක්ෂ-

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජය තුළ අවශ්‍ය මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයින්ට සහ ආගමික සංස්ථාවන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතිය හමුවේ අද පවතින ප්‍රමුඛතම වගකීමක් වන එම කාර්යය ඉටු කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කරන ලෙස සියලු ආගමික නායකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ඉවත්වෙනු” මෙහෙයුමේ වසරක ඇගයුම, ආගමික සමුළුව අමතමිනි.

ජාති, ආගම් සහ වයස් බේදයකින් තොරව දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වාත්, සමාජයේ ගෞරවයට සහ වන්දනාවට ලක්වූ ආගමික සංස්ථාවන්ද ඇතුළුව රටේ සියලු ස්ථර වෙතත් විෂ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වී ඇති ආකාරය මෙහිදී පෙන්වා  දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යසනය පරාජයට පත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන පුළුල් වැඩපිළිවෙළද පැහැදිලි කළේය.

“රටම එකට” ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

අපේ ස්වාමීන්වහන්සේලා ඇතුළු සියලු පූජ්‍ය ප්‍රසාදීන්වහන්සේ අද මෙහි රැස්ව සිටින්නේ විශාල ව්‍යසනයක් පරාජයට පත් කිරීමේ අරමුණ ඇතිවයි. පළමුකොටම අපගේ ආරාධනය පිළිගෙන ඔබවහන්සේලා මෙම අවස්ථාවට වැඩම කිරීම පිළිබඳ අපේ ගෞරවපුර්වක ස්තූතිය පළ කර සිටිනවා.

මෙහි වැඩම කර සිටින දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය සහ පූජකතුමන්ලා දෙස බැලූ විට අප හමුවේ තිබෙන අභියෝගය විශාල වූවාට එය පරාජය කළ හැකියි කියන දැඩි විශ්වාසය අප තුළ ඇති වෙනවා.

මීට වසරකට පමණ පෙර අපි මෙම ව්‍යසනය පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළා. හැමදාමත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිම් සිදු වුණා, ඒ වගේම මෙම උවදුර පරාජයට පත් කිරීම සඳහා විවිධ කාර්යයන් කරමින් තිබුණා. හැබැයි අපි සංඛ්‍යා දත්ත දෙස ආපසු හැරී බැලූවිට හැමදාමත් සිදුවී තිබෙන දෙය වන්නේ මත්ද්‍රව්‍ය නැවත නැවත වර්ධනය වී තිබීමයි. ඒ නිසා මේ ව්‍යසනය පරාජයට පත් කිරීමට නම් අනිවාර්යයෙන් ඒකාබද්ධ වැඩසටහනක් අවශ්‍ය බව අපි කල්පනා කළා. ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන් නියෝජනය වන මෙහෙයුම් කමිටුව අපි පත් කරනු ලැබුවා.

මේ වසර තුළ අපි කිහිපවරක් රැස්වෙලා විවිධ තීන්දු තීරණ ගනු ලැබුවා. ජාතික සභාව නියෝජනය කරන අපේ මහා සංඝරත්නය, පූජකතුමන්ලා එම අවස්ථාවට වැඩම කළා. ඒ නිසා සෑමවිටම අපේ හාමුදුරුවන් වහන්සේලාගේත්, පූජකතුමන්ලාගේත් සහාය අපිට ධෛර්යයක් වුණා. අපිට මෙම ව්‍යසනය පරාජය කළ හැකි වන්නේ එවැනි ඒකාබද්ධ වැඩසටහනක් මගින් පමණයි.

අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා මේ ව්‍යසනය අපේ රටින් මුළිනුපුටා දමනට බවට. ඒ වගේම අපි පියවරෙන් පියවර මේ විනාශකාරීත්වයේ දොරටුව විවෘත කළා. අපි එළියේ සිට බලනවාට විශාල ගැඹුරක් මෙහි තිබුණා. ඒ නිසා විශාල විනාශකාරීත්වයකින් පිරි තිබූ ගුහාවක දොරටු අපි විවෘත කර තිබෙනවා. එම දොරටු විවෘත කිරීම මගින් කලබලයට පත්වූ පිරිසක් සිටින බවත් අපි දන්නවා. දැන් තෝරාගත යුතු මාවත් දෙකක් අපි හමුවේ තිබෙනවා. එක් මාවතක් වන්නේ මීට එරෙහි වන්නන්ට යටත්වී මෙම ගමන අතහැරීම. දෙවැනි මාවත වන්නේ කුමන බාධක මැද වුවද මෙම ව්‍යසනය පරාජයට පත් කිරිම සඳහා අප ගත් තීන්දුව සාර්ථකව ජයග්‍රහණයෙන් කෙළවර කිරීම. අපි ආණ්ඩුවක් ලෙස තෝරාගෙන තිබෙන්නේ මෙම දෙවන මාවතයි. සාර්ථක ලෙස මෙම ව්‍යසනය පරාජයට පත් කළ යුතුයි.

අද අපේ ජාතිය ජාතියක් ලෙස ගොදුරු වී තිබෙන ප්‍රධානතම ව්‍යසනය මෙයයි. එක් එක් සමාජ කණ්ඩායම්වලට තමන්ටම අනන්‍ය වූ ප්‍රශ්න තිබෙන බව මම දන්නවා. හැබැයි කිසිදු සමාජ භේදයකින් සහ සංස්කෘතික මෙන්ම භාෂාමය වෙනස්කමකින් තොරව අපි හැමදෙනාම ඉදිරියේ තිබෙන ජාතික ව්‍යසනය මෙම මත්ද්‍රව්‍ය උවදුරයි. මෙම මත්ද්‍රව්‍ය උවදුරින් අපි අපේ ජාතිය ගලවා ගත යුතුයි. ඒ නිසා අපි අපේ ගමන ඉදිරියටම ගෙන යා යුතුයි.

පසුගිය වසරේ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම වසර ඇතුළත අප අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය  කිලෝග්‍රෑම් 438,330ක් වෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සඳහා 2022 වසරේදී අවුරුදු 18ට වඩා අඩු තරුණයින්ගෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒක තරුණයයි. හැබැයි 2025 වසර වන විට අපි 1874ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම අවුරුදු 21 වැඩි තරුණයින් 11,737ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඇතුළේ අවුරුදු 21-18ත් අතර තරුණයින් 10,889ක් සිටිනවා. ඒ වගේම වයස අවුරුදු 18-14 අතර දරුවන් 1068ක් සිටිනවා. අවුරුදු 05-14ත් අතර වයසේ දරුවන් 13දෙනෙක් සිටිනවා. ඒ කියන්නේ අපේ ළමා ලපටින් පවා මෙහිදි ගොදුරු බවට පත්ව තිබෙනවා. ඒ වගේම ගැහැණු දරුවන් දෙසීය ගණනක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ ව්‍යසනය අපේ මුළු තරුණ පරම්පරාවම, අපේ අනාගතයම ව්‍යසනයට පත් කරමින් තිබෙනවා. රට සහ ජාතිය පිළිබද ආදරයක් සහ ඇල්ලමක්, තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබද බලාපොරොත්තුවක් තිබෙන අපිට මේ හමුවේ නිහඩව සිටීමේ හැකියාවක් නැහැ. අපි හමුවේ තිබෙන දේ වන්නේ මෙය පරාජය කිරීමයි.

මෙම ව්‍යසනයේ ප්‍රමාණය මේ සියලු දත්තවලින් පෙන්නුම් කරනවා. එපමණක් නොවෙයි, අපි මේ වසර තුළ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15,282ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අයිස් කිලෝග්‍රෑම් 6,528ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 4,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසනද හෙරෝයින් සහ අයිස් කිලෝග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,598ක්, හෂීස් කිලෝග්‍රෑම් 1,841ක්,  කොකේන් කිලෝග්‍රෑම් 314ක්, මත්පෙති සහ කරල් මිලියන 4.5කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් බිලියන 218ක් වෙනවා. ගංජා ද එකතු කළ විට රුපියල් බිලියන 224ක් වෙනවා. එනම් රුපියල් කෝටි 21,800ක්. මේ වසරක මත්ද්‍රව්‍ය වෙළඳපොළ. අත්අඩංගුවට නොගත් ප්‍රමාණයද සලකා බැලූ විට කෙතරම් මහා පරිමාණ විනාශයක් සිදු වන්නේදැයි පැහැදිලි වෙනවා.

“මේ කෝටි 22,000ක මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විශාල ශක්තිමත් ජාලයක් නිර්මාණය වී තිබෙනවා. මෙම ජාලය බිඳනොදමා මත්ද්‍රව්‍ය අපගේ රටෙන් ඉවත් කරන්න බැහැ. මෙම මහා විශාල ධනස්කන්ධය නිසා රාජ්‍ය නිලධාරීන්, රේගු දෙපාර්තමේන්තුවේ සමහර අය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අය, ආගමන විගමන නිලධාරීන්, පොලිසියේ සමහර නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් පවා මිලදී ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හැකි වී තිබෙනවා. පසුගිය කාලයේ ප්‍රධාන කුඩු ජාවාරම්කරුවන් පළාත් පාලන ආයතනවල සභාපති ධූරවලට සහ නියෝජිතයන් බවට පවා පත් වීමේ හැකියාව ලබා ගත්තා. මෙම මත්ද්‍රව්‍යයෙන් උපයා ගන්න මහාධනස්කන්ධය සමග දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමට පටන් ගත්තා.

අද මෙම ව්‍යසනය මුළු සමාජයම ගිලගනිමින් තිබෙනවා. තවදුරටත් ගරු කටයුතු කිසිදු ස්ථානයක් ඉතිරි වන්නේ නැහැ. වැඳ නමස්කාරයට සහ ගෞරවයට බඳුන්වන ආගමික සංස්ථාවන් තුළට මේ ව්‍යසනය ගලායමින් තිබෙනවා. වසර දෙදහස් ගණනක් මුළුල්ලේ ජන සමාජය ගොඩනැගීමේදී දෙපා ගෙවෙනකම් ගම් නියම්ගම් කරා වැඩම කළ අපේ මහා සංඝරත්න සහ සංඝ සමාජය වෙතත් අඩුවැඩි වශයෙන් මෙය ගලාගෙන ගොස් තිබෙනවා. අනෙකුත් ආගමික සංස්ථාවන් වෙතද මෙය ව්‍යාප්ත වී තිබෙනවා. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන මේ සියල්ල මීට ගොදුරු වී තිබෙනවා.

අපට මතුපිටින් පෙනෙන රාජ්‍ය යන්ත්‍රණය වෙනුවට අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන කළු රාජ්‍ය යන්ත්‍රණයක්’ නිර්මාණය වී තිබෙනවා. මෙය තවදුරටත් වර්ධනය වුණොත් ගෞරවයට පාත්‍ර වුණු සමාජය බලාපොරොත්තුවලින් ඉන්න සමාජය විධිමත්භාවයට ගේන මේ සියලු යාන්ත්‍රණ තවදුරටත් වළංගු නැති යාන්ත්‍රණ බවට පත් වෙනවා. ඔවුන් උපයාගන්නා මහා කළු ධනයෙන් ඔවුන්ට හැකියාව ලැබෙනවා මේ සියල්ල තමන්ගේ අතට ගන්න. එහෙනම් මා කියනවා නැවතත් අපිට පාරවල් දෙකක් තියෙනවා.

ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කළු රාජ්‍යයේ ඉන්න, අපි අපිට පැවරී තිබෙන රාජ්‍යයේ වැඩ කරගෙන ඉන්නවා. එහෙම තමයි ගොඩක් අය හිටියේ. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට තීරණය අරන් තිබෙනවා, අප මේ කළු රාජ්‍යය පරාජයට පත් කරනවා, මේක බිඳ වට්ටනවා. මත්ද්‍රව්‍ය හා බැඳුනු කළු රාජ්‍යය බිඳ වැට්ටීමකින් තොරව අපේ දරුවන්ට විශ්වාසවන්ත අනාගතයක් නැහැ. අපේ දෙමව්පියන් මොනතරම් බලාපොරොත්තුවකින් තමන්ගේ දරුවන් හදනවද. අපේ දෙමව්පියන් තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් තමන්ගේ දරුවන් වෙනුවෙන් වැය කරනවා – දරුවන්ට හොඳ ජීවිතයක් වෙනුවෙන්, දරුවන්ට හොඳ අනාගතයක් වෙනුවෙන්, දරුවන්ට හොඳ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන්. දෙමව්පියන් කොච්චර වෙහෙස වෙනවද. මම හිතන්නේ ලෝකයේ කිසිදු අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් මෙතරම් වෙහෙස වෙන්නේ නැහැ.

තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් වෙනුවෙන් “වෙහෙස වෙන දෙමව්පියන් ඉන්න රටක, දෙමව්පියන්ගේ ඇස් ඉදිරිපිට දැන් තිබෙනවා ඒ දරුවන්ට විශ්වාසවන්ත අනාගතයක් තිබෙනවද? කියන කාරණය. මම දන්නවා දෙමව්පියන් විශාල ප්‍රමාණයකින් මේ ඇතිවී තිබෙන ව්‍යසනය හමුවේ අසරණභාවයට පත් වෙලා තිබෙනවා. මුළු සමාජයකම මේ ව්‍යසනය මහා රාක්ෂයෙකු ලෙස පැතිරෙමින් තිබෙනවා. ඒ හා බැඳුනු මත්ද්‍රව්‍ය ජාලයත්, ඒ හා බැඳුණු අපරාධ යාන්ත්‍රණයත් බිඳ වැට්ටිය යුතුයි. අපි ‘රටම එකට’ වැඩසටහන ඇතුළේ එම අපරාධ රාජ්‍යය බිඳ වැට්ටීම සඳහා සැලසුම් සකස් කළා. ඒ අනුව මේ මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් ලංකාව තුළ අත්අඩංගුවට ගන්නත්, ලංකාවෙන් බැහැරව ගියපු අයත් අපිට ගෙන්වා ගැනීමටත් හැකියාව ලැබුණා.

“මේ වසර ඇතුළත විවිධ නාමයන්ගෙන් පටබැඳුණු අය, විවිධ ගම් නගර බියපත් කරගෙන හිටපු අය අපි අත්අඩංගුවට ගත්තා. පිටරට හිටපු 67 දෙනෙක් අපි ලංකාවට ගෙන්නුවා. තවත් අපි ඉදිරියේදී ලෝකයේ කොහේ සැඟවිලා සිටියත්, අපේ රටේ මත්ද්‍රව්‍ය වෙළඳාම නිසා සංවිධානාත්මක අපරාධවල යෙදෙනවා නම්, ලෝකයේ කොතනක හිටියත් ඔවුන්ට අපි කියනවා ‘ඔබ අනාරක්ෂිතයි, කොහේ හිටියත් කියලා. ඒ වගේම අපි 112 දෙනෙකුට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා, ඔවුන්ගේ මිලියන 4500ක දේපල තහනම් කර තිබෙනවා.

“මත්ද්‍රව්‍ය හරහා උපයාගන්නා ලද දේපළ මිලියන 4500ක දේපළ අපි අත්හිටුවාගෙන තිබෙනවා. මේ අවුරුද්ද ඇතුළත T56 ස්වයංක්‍රීය ගිනිඅවි 97ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමහර විට පොලිසියකටත් එච්චර ප්‍රමාණවත් නැහැ,  මේ ගිනිඅවි සමහර ඒවා අපේ හමුදාවලින් එළියට ඇවිල්ලා තියෙනවා, ඒවා අපිට ඔඩිට් වාර්තාවලින් එළිදරව් වී තිබෙනවා. මේ ගිනිඅවි සමහර අවස්ථාවල අපිට වාර්තා වුණා පොලිස් නිලධාරී මහත්තයෙක් ගිනිඅවිය විකුණලා පැනලා යනවා. ගිනිඅවි එළියට ඇවිල්ලා තිබුණා. පිස්තෝල 143ක්, ඒකේ 47 අවියක්, රිවෝල්වර 105ක්. මේක තමයි අපරාධ රාජ්‍යය සතුව තිබෙන ගිනිඅවි ප්‍රමාණය. තවත් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.

 මෙවැනි ගිනිඅවි ප්‍රමාණයක් අපරාධකරුවන් අත ගැවසෙද්දි මේ සමාජය ආරක්ෂිතද? අපේ දරුවන් ආරක්ෂිතද? අපේ දරුවන් මේ සමාජයේ ආරක්ෂිත නැහැ. මේ තරම් ගිනිඅවි ප්‍රමාණයක් නිදැල්ලේ සැරිසරනවා, තව අත්අඩංගුවට ගත යුතුයි. අපි ඒ පිළිබඳව සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීම සඳහා අපි විශාල මෙහෙයුමක් කරමින් සිටිනවා.

“විශේෂයෙන් පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවත්, ඒ වගේම නාවික හමුදාපතිතුමා, ගුවන් හමුදාපතිතුමා, අපේ යුධ හමුදාපතිතුමා ඇතුළු හමුදා යාන්ත්‍රණය මේ මෙහෙයුමේදී, මේ අත්අඩංගුවට ගැනීමේදී, මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේදී විශාල වෙහෙසක් දරමින් තිබෙනවා. ඒ ආයතන මේ රාජ්‍යය බේරාගැනීම වෙනුවෙන්, අපේ දරුවන් බේරාගැනීම වෙනුවෙන් විශාල මෙහෙයුමක නිරත වෙලා තිබෙනවා. හැබැයි ඒ මෙහෙයුම් පිළිබඳ ඇගයීමක් නැතුව, එක්කෝ නිලධාරියෙකුගේ යම් අතපසුවීමක් වුණොත් ඒක පුවත්පතේ සිරස්තලය බවට පත්වෙනවා, ඒක මාධ්‍ය ආයතනයේ ප්‍රධානම ටීවී වැඩසටහන බවට පත්වෙනවා.

මෙවැනි කෝටි 22,000කට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නකොට, ගිනිඅවි තොග විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න කැපවුණේ කවුද? මේ පොලිසිය, මේ ත්‍රිවිධ හමුදාව. ඒ නිසා මෙම මෙහෙයුමේදී ඔවුන් විසින් කරන ලද කාර්යයට නිසි ඇගයීමක් අපේ රජය විසින් ලබාදෙනවා. ඒ වගේම පසුගිය කාලයේ මෙහෙයුම්වලට සම්බන්ධ වුණු බොහෝ නිලධාරීන්ට අපි ප්‍රසාද දීමනාවන්, දිරි දීමනාවන් ලබාදීමට කටයුතු කළා, තවත් ඉදිරියේදී අපි ඒ පිළිබඳ සැලකිල්ලට භාජනය කරනවා.

“මෙහෙයුම්වලට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහය ඉතාමත් අවශ්‍යයි. හැබැයි මේ අත්අඩංගුවට ගැනීම පමණක් නොවෙයි, අපිට පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහනක් අවශ්‍යයි. අපි පුනරුත්ථාපන මධ්‍යස්ථාන මඩකලපුව, අකුරස්ස, නිට්ටඹුව, මහනුවර ආදී පළාත්වල අලුතෙන් පිහිටුවනු ලැබුවා. පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථාන  කන්දකාඩු, සේනපුර, වවුනියාව ආදී ප්‍රදේශවල තිබෙන පුනරුත්ථාපන මධ්‍යස්ථා වැඩ දියුණු කළා. ඒ වගේම අපි සැලසුම් කරලා තිබෙනවා රාජ්‍ය අනුග්‍රහය මුළුමනින්ම ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන පමණක් නෙවෙයි , පන්සල්, අපේ ආගමික පූජකතුමන්ලා, සිවිල් සංවිධාන විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගණනාවක් පවත්වාගෙන යනවා. අන්න ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහා රජයේ උපරිම සහය  ලබාදෙන්න අපි ලෑස්තියි. අපි ඔවුන් සමඟ වැඩ කරමින් ඔවුන්ට අවශ්‍ය සහය ලබාදෙන්න සූදානම්.

ඒ වගේම අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන විශාල ප්‍රමාණයක් මැදිහත් වෙලා, රට පුරා වළක්වාගැනීමේ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් 2,59,000ක් සංවිධානය කරලා තිබෙනවා. එම වැඩසටහන් විශාල ප්‍රමාණයක් අපි කරලා තිබෙනවා, ජනතාව සහ දරුවන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් පවත්වා තිබෙනවා.

අපි මෙය මර්ධනය කළ යුත්තේ අපිට තිබෙන නීති රාමුව තුළයි. අපි කිසිසේත්ම මෙම ව්‍යසනය පරාජයට පත් කිරීමේ ක්‍රියාදාමයේදී නීති රාමුවෙන් එළියට එන්න අපේක්ෂා කරන්නේ නැහැ. අපිට සකස් කරලා තිබෙනවා නීතියක්, ඒ නීතිය යටතේ තමයි අපි වැඩ කරන්නේ. අපිට නීතිය ප්‍රමාණවත් නැත්නම් අපි නීතිය හදනවා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණා. බොහෝ සමාජයේ සැකයක් තිබුණා – මේ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය මෙච්චර තොග අත්අඩංගුවට ගන්නවා පේනවා, හැබැයි මේවා ආපසු වෙළඳපොළට එනවාද කියන සැකය තිබුණා

අපේ තිබුණ නීති රාමුව ඇතුළේ උසාවියකින් ගොනු කරන ලද නඩුව අවසන් වෙලා, ඒ නඩුවට අදාළ භාණ්ඩය විනාශ කරන්න කියලා උසාවියෙන් නියෝගයක් එනතෙක් අපිට විනාශ කරන්න බලයක් නැහැ. නමුත් අපි විනාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළා.

ඊළඟට මත්ද්‍රව්‍යවලින් උපයාගන්නා ලද ධනය, ඒ කියන්නේ අයුතු ලෙස උපයාගත් ධනය සහ වත්කම් පවරාගැනීමේ නීතියක් තිබුණේ නැහැ. “ඒ නිසා අපි 2025 වසරේ අයුතු ලෙස උපයාගත් දේපල පවරාගැනීමේ නීතිය සම්මත කළා. අන්න ඒ පවරාගැනීමේ නීතිය ඇතුළේ තමයි කෝටි 4500ක දේපල මේ වෙනකොට අපරාධකරුවන්ගෙන් පවරාගෙන තියෙන්නේ. ඒ නීතිය තිබුණේ නැත්නම් අපිට පවරාගැනීමේ අවස්ථාවක් නැහැ.

විශේෂයෙන්ම දැන් සාකච්ඡාවට බඳුන් වෙන සංවිධානාත්මක අපරාධ පනත. අපි අද සංවිධානාත්මක අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. මේක තමයි ඇත්ත. එක් සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවෙන් පැනයන්න උත්සාහ කරනවා. අත්අඩංගුවෙන් පැනයාමට උත්සාහ කිරීම අපි නීතියට ගේන්න හදනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. හැබැයි ක්‍රියාව මොකක්ද? සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවෙන් පැනයෑමට උත්සාහ කිරීම. දැනට තියෙන නීතිය අනුව නඩු ගොනු කිරීම සිදුවුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමයි පරීක්ෂණ කරන්න සිදුවුණේ. වෙන කරන්න දෙයක් නැති නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නඩු ගොනු කරන්න උත්සාහ කළා

අපේ අභිප්‍රායක් තියෙනවා පීටීඒ එක (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) විශාල ප්‍රමාණයකින් දුර්වල කරන්න ඕනේ. මොකද අපිට දැන් එදිනෙදා මුහුණදෙන්න ත්‍රස්තවාදී කටයුත්තක් නැහැ. ඒක ඉතාමත් දුර්වල පනතක් බවට පත්කරනවා. සංවාදය තිබෙනවා. අපි කථා කරනවා.  හැබැයි අපිට සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා ශක්තිමත් නීතියක් අවශ්‍යයි. මේක තමයි මේ යුගයේ ජාතිය ව්‍යසනයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය නීතිය.

නීතිය හැමවෙලාවෙම අලුත් වෙනවා. අලුත් අභියෝගයන්ට අනුව අලුත් නීති හැදෙනවා. කාලයක් පරිසර නීති තිබුණේ නැහැ. හැබැයි පරිසරයට විශාල ලෙස හානි වෙනකොට පරිසර ආරක්ෂණය කිරීම සඳහා නීති සම්පාදනය වෙනවා. “කාලයක් මුදල් විශුද්ධිකරණ නීති තිබුණේ නැහැ. හැබැයි කළු සල්ලි උපයාගැනීම විශාල තර්ජනයක් බවට පත්වෙනකොට මුදල් විශුද්ධිකරණ පනත ඇති වෙනවා. කාලයක් පොදු දේපල විනාශ කළේ නැහැ පාලකයෝ. හැබැයි පාලකයෝ පොදු දේපල විනාශ කරනකොට පොදු දේපල ආරක්ෂා කරගැනීම සඳහා පොදු දේපල පනත සකස් වෙනවා. දැන් සංවිධානාත්මක අපරාධ වර්ධනය වෙලා තිබෙනවා. ඒ නිසා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතක් මෙම යුගයට අවශ්‍ය වී තිබෙනවා.නීතිය සර්වකාලීන නැහැ. අද හදන නීතිය චිරාත් කාලයක් පවතින්නේ නැහැ. සමාජයේ අලුත් අභියෝග එනවා. සමාජයේ අලුත් අභියෝග එනකොට ඒ අභියෝගයන්ට මුහුණදීම සඳහා ශක්තිමත් නීති අවශ්‍යයි.