Spread the love

නිමල් රාජපක්ෂ

රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලු සහ විෂමතා නිරාකරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද “වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ” සමාරම්භක හමුව ජුලි 01පස්වරුවේ පැවැත්විණි.

නාරාහේනපිට නිලමැදුර පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම ප්‍රථම නිල හමුව, කොමිෂන් සභාවේ සභාපති තෙල්ගේ අශෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා සෙසු සාමාජිකයෝ ද එක්ව සිටියහ.

පසුගිය ජුනි 22 වැනිදා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මඟින් සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම නව කොමිෂන් සභාව පිහිටුවීමට පියවර ගැනුණි.

මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය සේවය තුළ දීර්ඝ කාලයක් පුරා පවතින වැටුප් විෂමතා අවම කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ පවතින ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදීමයි.

මීට අමතරව, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය සහ වෘත්තීය වටිනාකම ඉහළ නැංවීම මෙන්ම නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතාවලට ගැළපෙන පරිදි රාජ්‍ය සේවය තුළ සිදු කළ යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීම ද මෙහිදී අපේක්ෂා කෙරේ.

මෙම පියවර මඟින් රාජ්‍ය සේවකයින් මුහුණ දෙන මූල්‍ය ගැටලුවලට මෙන්ම විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට ද ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තෙල්ගේ අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස කුරුප්පු ඛේමා ඈන් ස්වර්ණාධිපති, ප්‍රේමලාල් අබේසිංහ ගුණසේකර, බාලසූරියගේ මොන්ටි රණතුංග, නඩරාජා රවිචන්දර්, වෛද්‍ය විමල් ජයන්ත, මොහොට්ටිගේ මුදිල සංජීව, හත්තසින්ගේ තිලකවර්ධන, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) පියල් ජූඩ් ප්‍රනාන්දු, අහමඩ් ලෙබ්බේ මොහොමඩ් මුක්තාර්, සෙනරත් තිස්ස බණ්ඩාර රත්නායක, අබේසිංහ වීරකෝන්, ලාල් චන්ද්‍ර වීරකෝන්, ගජධීර ආරච්චි පියල් පද්මනාත, ජයවීර පතිරණ සහ කොස්වින්නගේ සරත් ලාල් පෙරේරා යන මහත්ම මහත්මීන් කටයුතු කරති.