නිමල් රාජපක්ෂ
මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ නියුතු පර්යේෂණ නිලධාරීන්ගේ සහ විද්‍යාඥයින්ගේ වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පසුගියදා සිදුකෙරිණි.
මෙම ගිවිසුමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහොමඩ් නවවි මහතා සහ අධ්යක්ෂ (ජාත්‍යන්තර සබඳතා) ගීතානි කන්නන්ගර මහත්මිය ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් අත්සන් තැබූ අතර, ආසියානු තාක්ෂණ ආයතනය පාර්ශ්වයෙන් එහි උප සභාපති මහාචාර්ය සිද්ධාර්ත් කේ. ජබාඩේ මහතා අත්සන් කළේය. ආසියානු තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය පායි චී-ලී ද මේ සඳහා අත්සන් තැබීමට නියමිතය. මෙම ගිවිසුමට අදාළ සහයෝගිතා වැඩසටහන යටතේ 2026 සිට 2031 දක්වා කාලය තුළ කෘෂිකර්මය, ස්වභාවික සම්පත් කළමනාකරණය, ජලජ සම්පත්, ආහාර නවෝත්පාදනය සහ පෝෂණය, දේශගුණ විපර්යාස හා තිරසර සංවර්ධනය, ආපදා කළමනාකරණය, තිරසර ශක්ති පද්ධති, නගර සැළසුම්කරණය සහ මහජන ප්‍රතිපත්ති වැනි ප්රමුඛ ක්ෂේත්‍ර යටතේ දර්ශනපති (M.Phil.) සහ ආචාර්ය (Ph.D.) උපාධි පර්යේෂණ සඳහා ශිෂ්‍යත්ව අවස්ථා හිමිවේ.
ගිවිසුම්ගත පරිදි, මෙම වැඩසටහන සඳහා AIT ආයතනය විසින් 35% ක විශේෂ අධ්‍යයන ගාස්තු සහනයක් ලබා දෙන අතර, ඉතිරි මූල්‍ය දායකත්වය බාහිර මූල්‍ය ආයතන හරහා ලබා ගැනීමට සැලසුම් කර ඇත. ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශාස්ත්‍රීය, තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම වර්ධනය කරමින් රටේ ස්ථායී සංවර්ධනයට දායක විය හැකි වෘත්තීයවේදීන් බිහි කිරීම මෙම ගිවිසුමේ අරමුණයි.
