නිමල් රාජපක්ෂ-
.
ශ්රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (29) ජනමාධ්ය අමාත්යංශයේදී පැවැත්විණි.
වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා මෙරට චීන
තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා හමුවූ පළමු අවස්ථාව ද මෙය විය.
මෙම හමුවේදී දෙරට අතර දිගුකාලීනව පවතින ද්විපාර්ශ්වික මිත්රත්වය සහ සහයෝගීතාවයන් පිළිබඳව අමාත්යවරයා සිය විශේෂ ප්රසාදය චීන තානාපතිවරයා වෙත පළ කළේය.
විශේෂයෙන්ම ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රයේ ප්රවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් අඛණ්ඩව ලබාදෙන නොමසුරු දායකත්වය සහ සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්යවරයා එහිදී සිය ස්තූතිය තානාපතිවරයා වෙත පුද කළේය.
මීට අමතරව, චීන රජයේ පරිත්යාගයක් ලෙස ඉදිකරන ලද පොළොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහලේ පසුගියදා සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ සහ සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
