Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය 2026 ඔක්තෝබර් මස 10 වන දින පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේදී අභිමානවත් අයුරින් සමරන ලදී. ජාතියේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා වසර 77ක් පුරා යුද්ධ හමුදාව ඉටු කළ කැපවීම, සේවය සහ පරිත්‍යාගය මෙහිදී සිහිපත් කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

එහිදී, ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිසුන් දායාද කළ පාසල් ඇගයීමක් ඉන් අනතුරුව සිදුවිය. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වැඩිම සක්‍රීය සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාවක් දායාද කළ පාසල් ඇගයීමට ලක් කරන ලදී.

උත්සව අවස්ථාව ආරම්භ කරමින් යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා හට සම්මාන මුරයක් පිරිනමන ලදී.

හමුදා ගෞරව පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපති විසින් යුද්ධ හමුදා ධජය එසවීමත් සමඟ දිනට නියමිත උත්සව කටයුතු නිල වශයෙන් ආරම්භ විය.

ධජය එසවීමෙන් අනතුරුව යුද්ධ හමුදා ගීතය ගායනා කරන ලද අතර, මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වන ලදී.

2026 යුද්ධ හමුදා දින පෙළපාළිය රෙජිමේන්තු 25ක් නියෝජනය කරමින් නිලධාරීන් 78 දෙනෙකු සහ සෙසු නිලයන් 652 දෙනෙකුගෙන් සහ වර්ණ ධජගනයන්ගෙන් සමන්විත විය.

යුද්ධ හමුදා සංවත්සර දින පෙළපාලියේ අංගයක් වශයෙන් පසුගිය වසර තුළ සුවිශේෂී සේවාවක් ඉටු කළ යුද්ධ හමුදා සාමාජිකයින් 07 දෙනෙකු වෙත යුද්ධ හමුදාධිපති ප්‍රශංසා ලාංඡන පැළදවීම සිදු කරන ලදී. ජාතික හදිසි අවස්ථාවන්හිදී තම ජීවිත අවදානම ද නොතකා දැක්වූ නිර්භීතකම, අවංකභාවය සහ පරාර්ථකාමී සේවය අගයමින් ඔවුන් මෙලෙස ඇගයීමට ලක් කෙරිණි.

අනතුරුව, පැවති පාසල් ඇගයීමේ අවස්ථාවේදී සේවයේ නියුතු සාමාජිකයන් සංඛ්‍යාව පදනම් කරගනිමින් කාණ්ඩ හතරක් යටතේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් පාසල් සඳහා යුද්ධ හමුදාධිපති විසින් සම්මාන පිරිනමන ලදී. ඒ අනුව පිරිමි නිලධාරීන්, කාන්තා නිලධාරිනියන්, පිරිමි සෙබළුන් සහ කාන්තා සෙබළියන් යන කාණ්ඩ යටතේ පාසල් ඇගයීමට ලක් විය.

ඒ අනුව සම්මානයට පාත්‍ර වූ පාසල් පහත පරිදි වේ.

පිරිමි නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් දායාද කළ පාසල්

1 වන ස්ථානය – ආනන්ද විද්‍යාලය, කොළඹ
2 වන ස්ථානය – ධර්මරාජ විද්‍යාලය, මහනුවර
3 වන ස්ථානය – ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ

කාන්තා නිලධාරිනියන් වැඩිම සංඛ්‍යාවක් දායාද කළ පාසල්

1 වන ස්ථානය – දේවි බාලිකා විද්‍යාලය, කොළඹ
2 වන ස්ථානය – විශාඛා විද්‍යාලය, කොළඹ
3 වන ස්ථානය – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ

පිරිමි සෙබළුන් වැඩිම සංඛ්‍යාවක් දායාද කළ පාසල්

1 වන ස්ථානය – කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුරය
2 වන ස්ථානය – නිවත්තක චේතිය ජාතික පාසල, අනුරාධපුරය
3 වන ස්ථානය – බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල

කාන්තා සෙබළියන් වැඩිම සංඛ්‍යාවක් දායාද කළ පාසල්

1 වන ස්ථානය – කෑගලු බාලිකා විද්‍යාලය, කෑගල්ල
2 වන ස්ථානය – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුරය
3 වන ස්ථානය – ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ

උත්සව සභාව අමතමින් යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් උරුමය පිළිබඳව සිහිපත් කළ අතර, මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් සිය කැපවීම සහ පරිත්‍යාගය පිරිනැමූ පරම්පරා ගණනාවක වීරෝදාර රණවිරුවන්ට සිය උපහාරය පුද කළේය. 77 වන සංවත්සරය යනු අතීත ජයග්‍රහණ සැමරීමක් පමණක් නොව, පරිවර්තනය, නවීකරණය සහ ජාතික සේවය වෙනුවෙන් වූ නව කැපවීමකින් යුත් යුගයක ආරම්භය ද සනිටුහන් කරන බව ඔහු අවධාරණය කළේය.

අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි සෙබළ කේන්ද්‍රීය, තාක්ෂණයෙන් සන්නද්ධ සහ වෘත්තීයමය වශයෙන් දක්ෂ යුද්ධ හමුදාවක් ගොඩනැගීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. “නායකත්වය දීමට සේවය කරන්න” යන ආදර්ශ පාඨය මඟපෙන්වීමක් කරගනිමින්, නවෝත්පාදනය සහ නවීන යුද හැකියාවන් වැලඳ ගන්නා අතරම, විනය, නායකත්වය සහ වෘත්තීයභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරන ලෙස සියලු නිලයන්ගෙන් ඉල්ලා සිටියේය.

අතීතයෙන් ලැබුණු අභිමානවත් උරුමය වඩාත් ශක්තිමත්, ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් සහ අනාගත අභියෝග සඳහා සූදානම් යුද්ධ හමුදාවක් ගොඩනැගීමේ පදනම විය යුතු බව ද යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළේය. එමඟින් ඉදිරි පරම්පරාවන් සඳහා සේවයේ සහ පරිත්‍යාගයේ අභිමානවත් සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යාමට හැකි වන බව ද ඔහු පෙන්වා දුන්නේය. තවද, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, තුවාල ලැබූ සහ දිවි පිදූ රණවිරුවන්, දැනට සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයන්, සිවිල් සේවකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිහිපත් කරමින්, ජාතියේ යහපත උදෙසා කැපවීමෙන් සේවය අඛණ්ඩව ඉටු කරන ලෙස සියලු නිලයන් දිරිමත් කළේය.

තවද, පාසල් ඇගයීම් සදහා සහභාගී වූ පාසල් නියෝජිතයින් හටද යුද්ධ හමුදාධිපති විසින් සිය කෘතඥතාව පල කරන ලදී.

මෙම උත්සවයට හිටපු යුද්ධ හමුදාපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ හිටපු සැරයන් මේජර්වරුන් සහ සෙසු නිලයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.