Spread the love

නිමල් රාජපක්ෂ-

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වු උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ “මෙහෙවර පැසසුම්” වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ජනාධිපති අරමුදලේ අයදුම්පත්  ලැබීමේ සහ ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් බැගින්, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් මෙලෙස ඇගයීමට ලක් කෙරිණි.

ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දෙවන ස්ථානය  චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, තෙවන ස්ථානය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ලබා ගත්හ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය කිලිනොච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, දෙවන ස්ථානය පූනකරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, තෙවන ස්ථානය පච්චිලිප්පලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හිමි විය.

මන්නාරම දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය නානාද්දන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දෙවන ස්ථානය මන්නාරම නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,  තෙවන ස්ථානය මාන්තෛ බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් විසින් ලබා ගන්නා ලදී.

මුලතිව් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දෙවන ස්ථානය ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, තෙවන ස්ථානය මාන්තෛ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ලබා ගත්හ.

වව්නියාව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දෙවන ස්ථානය වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, තෙවන ස්ථානය වෙන්ගලචෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් දිනා ගත්හ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්ලතම්බි තිලකනාදන්, එම්. ජෙගදීස්වරන් යන මහත්වරු සහ පළාතේ මහජන නියෝජිතයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.