Spread the love

දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කරඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්වා ලංගම බස් රථවල ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ගමන් කල හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි..

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති දීශන පටබැඳිගේ මහතා සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල බලා ගමන් ගන්නා මගින් දැඩි අසීරුතාවට පත්වනු ඇත.