Spread the love

නිමල් රාජපක්ෂ-

​ගුරුපත්වීම් සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණයේදී ආබාධ සහිත ප්‍රජාවට අසාධාරණයක් සිදුවේ නම් වහාම දැනුවත් කරන ලෙසත්, ගුරු පුරප්පාඩු අනුව ඉදිරියේදී දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ මැදිහත්වීම මත, දෘෂ්‍යාබාධිත උපාධිධාරීන් සමඟ නොවැම්බර් 13 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

​ජාතික විභාග පැවැත්වීමේදී සහ සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

​පැවති ගුරු විභාගයෙන් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදුකළා. නමුත් ඒ පළමු අදියර පමණයි. පවතින පුරප්පාඩු අනුව නැවත දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදු කරනවා. අපිට ගුරුවරුන් බඳවා ගැනීමට සිදුවෙලා තිබෙන්නේ 2022 ගැසට් නිවේදනය අනුවයි. එහිදී එකම අපේක්ෂකයා විෂයන් අනුව, ජාතික හා පළාත් පාසල් අනුව වගේම සාමාන්‍ය පෙළ, උසස් පෙළ අනුව ඉල්ලුම් කර තිබෙනවා. ඒ අනුව තෝරා ගැනීම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ තෝරා ගැනීම් අනුව පුරප්පාඩු සලකා බලලා දෙවනුව සම්මුඛ පරීක්ෂණ පවත්වන්න කටයුතු කරනවා.
​ඒ වගේම සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත තැනැත්තන් බඳවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව සම්මුඛ පරීක්ෂකවරුන් දැනුවත් කර තිබෙනවා. නමුත් යම් හෝ අසාධාරණයක් සිදුවෙනවා නම් ඒ ගැන අපිව දැනුවත් කරන්න. බඳවා ගැනීම් සිදුකරද්දී විනිවිදභාවයෙන් සහ සාධාරණව සිදුකිරීමට අපි උපරිමයෙන් මැදිහත් වෙනවා.

ඒවගේම ​පාසල් මට්ටමේ ජාතික ඇගයීම් ක්‍රියාවලියේදී ආබාධ සහිත දරුවන්ගේ ඇගයීම් සිදු කිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් කටයුතු කරමින් තිබෙනවා. ඉගෙනුම් උපකාරක උපකරණ ලබාදීම සහ අවශ්‍ය උපකරණ නිර්මාණය කිරීම සඳහා ද මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

​පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු දෘෂ්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.