මෙරට මාතෘ රෝහලක පළමු අධි සත්කාර ඒකකය ලෙස, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුතු වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කෙරේ.
නුවර සහ අනුරාධපුර රෝහල්වලත් මාතෘ අධිසත්කාර ඒ්කක ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් සුරක්ෂිත තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය (Maternal High Dependency Unit) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීම පෙරේදා (16) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
විවෘත කිරීමෙන් අනතුරුව මාතෘ අධි සත්කාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද ලක් විය.
ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 249 ක් වැය කර ඇත. මේ වන විට පළමු අදියර වශයෙන් මුළු ව්‍යුහය සකස් කර බිම් මහල සහ පළමු මහල ඉදි කිරීමට කටයුතු කර ඇත.
මහල් 04 කින් යුත් මෙම ගොඩනැල්ල මේ වන විට බිමි මහල HDU (ඇදන් 10) වශයෙන් ද පළමු මහල පූර්ව හා පසු ප්‍රසව වාට්ටුව (ඇදන් 24) ලෙසින් ද ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.
මෙරට සෞඛ්‍ය පද්ධතියට හා වසර 150 කට වඩා ඉතිහාසයක් සහ මෙරට මාතෘ හා කාන්තා ප්‍රතිකාර සේවාවේ ප්‍රධානතම රෝහල ලෙස මෙරට සිදුවන වාර්ෂික දරු උපත් වලින් සියයට 3 ත් 5 ත් අතර ප්‍රමාණයක් සිදුවන මෙම රෝහලට විශේෂ අඩුපාඩුවක්ව පැවැති අධිසත්කාර ඒ්කකය සහ වාට්ටු සංකීර්ණයක් රෝගී සත්කාරක සේවාව සඳහා අද දින සිට එක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවැසීය.
මෙරට පළමු වතාවට මාතෘ රෝහලක් තුළ ආරම්භ කරන ලද පළමු මාතෘ අධි සත්කාර ඒකකය ලෙස මෙම ඒ්කකය විවෘත වන බවත්, මේ අත්දැකීම් අනුව නුවර සහ අනුරාධපුර රෝහල්වලත් අධිසත්කාර ඒ්කක ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද එමෙන්ම කාමරවලට අවශ්‍ය සියලු පහසුකම් සහිත ප්‍රසුතිකාර කාමර 04 ක් ඇතුළත් වන බව ද අමාත්‍යවරයා පැවසීය.
ලබන වසරේ ජුනි පමණ වනවිට මෙහි ඉතිරි මහල් දෙකෙහි සියලු වැඩකටයුතු අවසන් කළ හැකි වනු ඇති බවත්, ද සොයිසා රෝහලට තවත් මහල් 05 ක නව ගොඩනැගිල්ල සඳහා ද මුදල් වෙන් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
