නිමල් රාජපක්ෂ-
.
පාසල් වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින්, සියලුම පාසල් හෙට දිනයේදී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වන අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම සාධාරණ දැයි තම හෘද සාක්ෂියට අවංකව සිතා බලන ලෙස වර්ජනයට සම්බන්ධ ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවැසුවාය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිත්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් මධ්‍යම පළාතේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට නොවැම්බර් 29 වන දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මීට වසරකට පෙර ඇති වූ “දිත්වා” ආපදාවෙන් පසු මධ්‍යම පළාත ලබා ඇති ශීඝ්‍ර ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
ජලය, විදුලිය සහ මාර්ග පද්ධතිය සති දෙක තුනක් වැනි කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කිරීමට අපේ රාජ්‍ය සේවාවට හැකිවුණා. ආපදා අවස්ථාවේදී අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ආරක්ෂා කරගනිමින් විභාගය සාර්ථකව අවසන් කිරීමටත්, අවතැන් කඳවුරු වෙත ගොස් දරුවන්ගේ මානසික ආතතිය අවම කරමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් දැක්වූ කැපවීමට අපි ස්තුතිය පුදකරනවා. මීට මාස කිහිපයකට පෙර යුනිසෙෆ් (UNICEF) ආයතනය පවා ඒ කැපවීම පැසසුමට ලක් කළා.
පසුගිය ආපදාවලදී වගේ වංචා, දූෂණ හෝ නාස්ති පිළිබඳ කිසිදු චෝදනාවකින් තොරව, ජනාධිපතිතුමාගේ නායකත්වය සහ භාණ්ඩාගාරයේ මූල්‍ය විනය මත විදේශ ණය ලබා නොගෙන මෙම සියලු ප්‍රතිසංස්කරණ සිදු කරන්න අපිට හැකි වුණා. මැදපෙරදිග යුද ගැටුම් හමුවේ වුවද ජනතාවට දැනෙන ආර්ථික පීඩනය අවම කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට රජය සමත් වී තිබෙනවා, ඉඩම් ගැටලු විසඳමින් ඉතිරි නිවාස ව්‍යාපෘති 2027 වසර අවසන් වන විට සම්පූර්ණ කරන්න හැකි බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
එහිදී ගුරු විදුහල්පති වැඩවර්ජනය පිලිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.
හෙට දිනයේ පාසල් විභාග අවලංගු කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යතුමිය, විභාග පැවැත්වීම හෝ කල් දැමීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව හෝ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් පමණයි, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ද කාලසටහනේ වෙනසක් නොමැති බව තහවුරු කර තියනවා, සුපුරුදු පරිදි දරුවන් පාසල් වෙත එවන ලෙස මම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. දරුවන් වෙනුවෙන් කැපවන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් හෙට සේවයට වාර්තා කරනවා ඒ ගැන මට විශ්වාසයි.
2024 වසරේ රජය භාරගත් දා සිට අයාලේ ගොස් තිබූ පාසල් කාලසටහන විධිමත් කරලා, නියමිත දිනවලට විභාග පැවැත්වීමට සහ කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අපට හැකි වුණා. වසර ගණනාවකට පසු දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, විධිමත් විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ හා උසස්වීම් ලබා දීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා, 2027 වසරේ ජනවාරි මාසයේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා හඳුන්වා දීමටත් කටයුතු කරමින් තිබෙනවා. ඒ හරහා ශිෂ්‍ය කේන්ද්‍රීය හා තාක්ෂණය මුසු වූ ඉගැන්වීම් ක්‍රමවේදයක් වෙත අධ්‍යාපනය යොමු කරමින් තිබෙනවා.
ඒ වගේම රාජ්‍ය සේවයේ සෙසු ක්ෂේත්රවලට මෙන්ම ගුරුවරුන්ට ද අදියර තුනකින් වැටුප් වැඩි කළා, 2027 ජනවාරි අග වන විට තවත් වැටුප් වැඩිවීමක් ලබා දීමට නියමිතයි. වැටුප් විෂමතා සහ දීමනා සම්බන්ධ නොවිසඳුණු ගැටලු විසඳීමට රජය කැපවී සිටිනවා.
වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය රජය පිළිගන්නවා නමුත්, කිසිදු විසඳුමක් නොදෙන අසංවේදී පාලනයකට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ ගැටලු විසඳමින් ඉදිරියට යන රජයක් හමුවේ ගන්නා ක්‍රියාමාර්ග අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුයැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය කේ ඩී. ලාල්කාන්ත මහතා,
දිට්වා ආපදාවෙන් සිදුවුණු හානියට සාපේක්ෂව, අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළත මෙම වැඩසටහන මේ තත්ත්වයට ගෙන ඒම ඇත්තටම විශ්මයජනක කටයුත්තක්. ජනාධිපතිතුමා ගත් කඩිනම් පියවර සහ දිස්ත්‍රික්ක තුනේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු (DCC) රැස්වීම්වලට නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ලබාදුන් මඟ පෙන්වීම, රාජ්‍ය සේවයටත් දේශපාලන අධිකාරියටත් ලොකු ශක්තියක් වුණා. විශේෂයෙන්ම, හානියට පත් වූ ජනතාවට තිබුණු ජීවිතයට වඩා හොඳ ජීවිතයක් ලබා දීමේ මූලික අධිෂ්ඨානයෙන් රජය කටයුතු කළා, ඊට අගමැතිතුමියගේ මැදිහත්වීමත් විශාල පිටිවහලක් ලැබුණා.
ජනතාව ධෛර්යසම්පන්නව දරාගත්තා වගේම, රාජ්‍ය සේවයේ කැපවීම ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
හෙට දිනයේ වැඩවර්ජනයක් සම්බන්ධයෙන් කතාබහක් පැවතුණත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට පිළිගත හැකි, තර්කානුකූල සහ සාධාරණ හේතුවක් නැහැ. පසුගිය වසර හයක් හතක් තිස්සේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් කළේ නැහැ, වැටුප් වැඩි කළේ නැහැ, විශ්‍රාම වැටුප් අහෝසි කර රාජ්‍ය සේවය දුර්වල කළ එක පමණයි ඔවුන් කළේ. නමුත් වත්මන් රජය වසර දෙකක් තුළ රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් බඳවා ගැනීම් සිදු කර, මූලික වැටුප වැඩි කළා. ඉදිරි අයවැයෙන් දීමනා සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඒ නිසා හෙට දිනයේ සාධාරණ හෝ තර්කානුකූල “ලෙඩ නිවාඩු දැමීමේ” වර්ජනයක් ඇතැයි තමන්ට නොපෙනෙන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේය.
2025 නොවැම්බර් මාසයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම පළාතේ පවුල් 85,478ක පුද්ගලයින් 287,058 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, මරණ 370ක් වාර්තා වී තිබේ. පූර්ණ නිවාස හානි 4,650ක් සහ අර්ධ නිවාස හානි 20,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති අතර, මාර්ග, වාරි පද්ධති, කෘෂිකාර්මික ඉඩම්, පාසල්, ප්‍රජා ජල ව්‍යාපෘති සහ ව්‍යවසාය ඒකක රැසකට දැඩි හානි සිදුව ඇත. මේ වන විට මාර්ග 1,138ක් යළි ගමනාගමනයට සුදුසු තත්ත්වයට පත් කර ඇති අතර, පළාතේ සමස්ත ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 60,720.77ක් ඇස්තමේන්තු කර ඇති අතර ඉන් රුපියල් මිලියන 30,044.55ක් ලැබී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 182,651 දෙනෙකුට බලපෑම් එල්ල වී මරණ 249ක් වාර්තා වී ඇති අතර, මේ වන විට සහන සහ නැවත පදිංචි කිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 10,735.87කට අධික මුදලක් වැය කර ඇත. සියලු මූලික සහන දීමනා ගෙවා අවසන් කර ඇති අතර, හඳුනාගත් අර්ධ හානි නිවාසවලින් 85.59%කට ගෙවීම් කර තිබේ. එසේම නැවත පදිංචි කළ යුතු නිවාස 7,335න් නිවාස 1,810ක් සඳහා මුදල් ගෙවා ඇති අතර, ඉතිරි නිවාස සඳහා ගෙවීම් සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.
මාතලේ දිස්ත්‍රික්කයේ මූලික දීමනා, කුලී දීමනා සහ මරණ වන්දි 100%ක් ගෙවා අවසන් කර ඇති අතර, අර්ධ නිවාස හානි වෙනුවෙන් 98%ක ප්‍රගතියක් ලබා ඇත. පූර්ණ හානි නිවාස 220න් 48%ක පමණ ප්‍රගතියක් සහ අධි අවදානම් නිවාස 1,430න් 410ක පමණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සමඟ වසර අවසන් වන විට නිවාස 1,246ක පමණ වැඩකටයුතු ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10න් 7කට පමණ සියලු දීමනා ගෙවා අවසන් කර ඇති අතර, අර්ධ නිවාස හානිවලින් 90%කට ආසන්න ප්‍රමාණයකට මුදල් ගෙවා තිබේ. පූර්ණ හානි නිවාසවලින් 43%ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, NBRI අධි අවදානම් නිවාසවල 15%ක සහ වතු නිවාසවල 14%ක ප්‍රගතියක් පවතී. ඉඩම් ගැටලුවලට විසඳුම් සොයමින් 2027.12.31 වන විට සියලු පවුල් නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව ද නිලධාරීහු පෙන්වා දුන්හ. අනතුරුව නැවත පදිංචි කළ ජනතාව වෙනුවෙන් චෙක්පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, මධ්‍යම පළාත් ලේකම්, මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
