Spread the love

නිමල් රාජපක්ෂ
දිට්වා කුණාටුවෙන් විනාස වු පුත්තලම් දුම්රිය මාර්ගය යළ පිළිසකර කර හෙට (16) සිට සියළුම දුම්රියයන් පුත්තලම දක්වා සුපුරුදු පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
දිට්වා කුණාටුවෙන් හානි වීමත් සමගින් පුත්තලම් දුම්රිය මාර්ගයේ මෙතෙක් දිනක් ධාවනය වුයේ දුම්රිය මාර්ගය පිළිසකර කර හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණි.
නමුත් හලාවත සහ පුත්තලම යන දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුලුඹය පාලම අසළින් දුම්රිය මාර්ගය දැඩි ලෙස සෝදා යාම නිසාත් , තිල්ලඩය උප දුම්රිය ස්ථානය අසළ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස්කදු කඩ වැටීම නිසාත් , මානුවන්ගම උපදුම්රිය ස්ථානය අසළ ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින් දැදුරු ඹයට දුම්රිය මාර්ගය යටින් සෝදා යාම නිසාත් බරපතල ආපදාවන් සිදු වී තිබිණ.
අදාල බිදවැටීම් යළි පිළිසකර කිරීමත් සමගින්හෙට (16) සිට කොළඹ කොටුව සිට පුත්තලම දක්වා දුම්රිය ධාවනය සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බවද අසංක සමරසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව පෙරවරු 11.55 කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පුත්තලම බලා දුම්රියයක් ධාවනය වී පස්වරු 15.59 ට පුත්තලමට ලගාවීමට නියමිතය.
කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 17.18 ගමන් ආරම්භ කරන දුම්රියයක් රාත්‍රි 21.05 පුත්තලම දුම්රිය ස්ථානයට ලාගාවේ.
පුත්තලම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 4.30 ගමන් අරඹන දුම්රියයක් කොළඹ කොටුව දුමරිය ස්ථානයට පෙරවරු 8.15 ට ලගාවීමට නියමිතය.
පුත්තලම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.50 ට ගමන් අරඹන දුම්රියයක් පස්වරු 14.24 කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවද අසංක සමරසිංහ මහතා වැඩි දුරටත් පැවැසුවේය.