නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර පේෂකර්ම ක්ෂේත්රය නගාසිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මොරටුව විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ “The Art of Weaving” වැඩමුළුව සහ විලාසිතා දැක්ම අද (25) දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය සුරකිමින්, දේශීය නිර්මාණ සඳහා ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් සහ අපනයන අවස්ථා ලබා ගැනීම මෙහි මූලික ඉලක්කය වේ. නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම, නවෝත්පාදනය දිරිමත් කිරීම සහ තරුණ දායකත්වය ලබා ගැනීම මගින් මෙම කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවත් මෙය හුදෙක් කලාවක් පමණක් නොව, රටේ ආර්ථිකය ශක්තිමත් කරන තිරසාර අපනයන ක්ෂේත්රයක් ලෙස පරිවර්තනය කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරණි.

මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
අත්යන්ත්‍ර පේෂකර්මය අභාවයට යන ක්ෂේත්රයක් ලෙස සැලකීම වැරදි බවත්, එය “අනාගතයේ කර්මාන්තයක්” (Industry of the Future) ලෙස හැඳින්විය යුතු බවත් පැවසීය. ලෝකය අද වන විට තිරසාර සහ ස්වාභාවික නිෂ්පාදන (Sustainable and Natural Products) දෙසට නැඹුරු වෙමින් පවතින බැවින්, ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර නිෂ්පාදන සඳහා ගෝලීය වෙළෙඳපොළ තුළ සුවිශේෂී වටිනාකමක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඇඟලුම් කර්මාන්තය මෙන් නොව, අත්යන්ත්‍ර ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවටම ආවේණික වූ රටා, වර්ණ සහ ශිල්පීය හැකියාවන් පවතින බවත්, එය වෙනත් රටකට පහසුවෙන් අනුකරණය කළ නොහැකි සැබෑ තරඟකාරී වාසියක් (Unique Competitive Advantage) බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලෝකයේ ඉහළ වටිනාකමක් සහිත ඇඳුම් පැළඳුම් සඳහා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙම ක්ෂේත්රය හරහා විශාල විදේශ විනිමයක් රටට ලබාගත හැකි බව අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම සාරිවලින් ඔබ්බට ගිය නිදහස් විලාසිතා (Casual Collection) සහ සුවපහසුව ඉලක්ක කරගත් (Athleisure/Well-being) විලාසිතා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වේගවත් ගෝලීය වෙළෙඳපොළක් අත්පත් කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට විශ්වවිද්‍යාල මට්ටමින් සහ පෞද්ගලික අංශයෙන් සිදුකරන නිර්මාණාත්මක මැදිහත්වීම් අගය කළ අමාත්‍යවරයා, මෙය දැවැන්ත කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමට නම් පෞද්ගලික අංශයේ ආයෝජකයින් මීට වඩා දායක විය යුතු බව අවධාරණය කළේය. නිර්මාණශීලී තරුණ පරපුරේ හැකියාවන් (Creativity) සහ ව්‍යාපාරික දැනුම (Business Know-how) ඒකාබද්ධ කරමින් නව ව්‍යාපාරික ආකෘති (Business Models) සකස් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු මතු කළේය.

අත්යන්ත්‍ර ක්ෂේත්රයට අවශ්‍ය සහාය ලබාදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), රෙදිපිළි දෙපාර්තමේන්තුව මෙන්ම ලක්සල සහ සළුසල වැනි ආයතන වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මොරටුව විශ්වවිද්‍යාලය සහ කර්මාන්ත ක්ෂේත්රය අතර පවතින මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, දේශීය අත්යන්ත්‍ර පේෂකර්ම උරුමය ආරක්ෂා කරගනිමින් එය ලෝකය දිනන නව්‍ය අපනයන ක්ෂේත්රයක් බවට පරිවර්තනය කිරීමට රජය උපරිම සහාය ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික කළේය
අත්යන්ත්‍ර ක්ෂේත්රය තුළ නවෝත්පාදනය, අගය එකතු කිරීම සහ අපනයන වර්ධනය සඳහා වන නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, ක්ෂේත්රයේ ප්‍රමුඛයින්, ව්‍යවසායකයින්, නිර්මාණකරුවන්, ශිල්පීන්, පේෂකර්ම ශිල්පීන්, සිසුන් සහ සංවර්ධන හවුල්කරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම අවස්ථාව සඳහා අතිරේක ලේකම් (සාම්ප්‍රදායික කර්මාන්ත) සුභද්‍රා වල්පොල මහත්මිය, අපනය සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, රජයේ ආයතනවල සභාපතිවරුන්, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජගත් මනතුංග මහතා, රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුෂාරි වන්නිආරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයෝ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් සහභාගී වූහ.
