Spread the love

නිමල් රාජපක්ෂ-

අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන් හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූවක් නොවන අතර, එය ජාතික සංවර්ධනයේම අත්‍යවශ්‍ය පදනමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ජූලි 24 වන දා කොළඹදී ආරම්භ වූ ‘කොළඹ සාහිත්‍ය උළෙල’ අමතමිනි.

ජූලි 24 සිට 29 දක්වා දින හයක් පුරා පැවැත්වෙන මෙම සාහිත්‍ය උළෙල සඳහා දෙස් විදෙස් ලේඛකයින්, කවියන්, විචාරකයින්, විද්වතුන්, සිනමාකරුවන්, කලා ශිල්පීන් සහ සාහිත්‍ය ලෝලීන් රැසක් එක්ව සිටිති.

ආරම්භක උත්සවයට සහභාගීවෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුම්ය මෙසේද කීය.

ජූලි මාසය කියන්නේ වසර ගණනාවක විනාශයන්ට සහ පොත්පත් ගිනි තැබීම්වලට මග පෑදූ රටේ වේදනාකාරී ඓතිහාසික අත්දැකීම් මතක් කරදෙන කාලයක්.

විශේෂයෙන් 1981 වසරේදී යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය කිසිදා අමතක නොවන සිදුවීමක්.

දැනුම, මතකය සහ ඉතිහාසය සුරැකීමේදී පොත්පත්, ලේඛකයින් සහ ප්‍රකාශකයින් ඉටුකරන කාර්යභාරය අගය කරන සංස්කෘතියක් ගොඩනැගීමත් අත්‍යවශ්‍යයි.

එමෙන්ම, රට හැඩගැස්වීමට බලපෑ අත්දැකීම් පිළිබඳව අනාගත පරම්පරාවට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද අධ්‍යාපනයට ඇතුළත් කිරීම ඉතාමත් වැදගත්.

නිල ආඛ්‍යානයන් මගින් මතකයන් මකා දැමීමට හෝ නොසලකා හැරීමට උත්සාහ කරන අවස්ථාවලදී, අතීතයේ ජීවමාන සාක්ෂි ලෙසත්, විනාශයන්ගෙන් පසු නැවත නැගී සිටි මිනිසුන්ගේ කතාන්තර සුරක්ෂිත කරන මූලාශ්‍ර ලෙස පවතින්නේ සාහිත්‍යය සහ පොත්පත් බව අප මතක තබාගත යුතුයි.

ඩිජිටල් තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ ක්ෂණික තොරතුරු තාක්ෂණය රජයන යුගයක වුවත්, නව පරපුර අතර කියවීමේ සංස්කෘතියක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.

“රජයක් ලෙස අප පිළිගන්නේ අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන් හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් ලෙස නෙමෙයි, ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙසයි.

දැනුම, නිර්මාණශීලීත්වය සහ නිදහස් ප්‍රකාශනය අගය කරන සමාජයකට නවෝත්පාදනයන් කිරීමට, අභියෝගවලට මුහුණ දීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වැඩි හැකියාවක් පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ඉන්දීය ලේඛක, දේශපාලනඥ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු රාජ්‍ය රාජ්‍යදූත ශෂී තරූර් (Shashi Tharoor) මහතා, තානාපති නියෝජිතයින්, දෙස් විදෙස් ලේඛකයින්, ප්‍රකාශකයින්, කවියින්, විචාරකයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ