Spread the love

නිමල් රාජපක්ෂ

රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) ඊයේ (21) නාවික හමුදා භාරයට ගෙන ඇත.

මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා (04) තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදි තිබේ.