දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ ඊයේ (03) රාත්‍රී කාලයේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01), ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු (04) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා (04) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
