නිමල් රාජපක්ෂ –
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව සහ කඩුවෙල පලාත් පාලන බල ප්‍රදේශ මායිම් වන චන්ද්‍රිකා කුමාරතුංග මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමත් මාර්ගයට සමාන්තරව පවතින හීන් ඇල ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමත් අද දින (2026.11.05) ආරම්භ කෙරිණ.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.
නිරන්තර ගංවතුර පවතින ප්‍රදේශයක් මෙන්ම වැඩි කාලයක් ජල රැඳවුම් ප්‍රදේශයක් වීම හේතුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඉරි තැලීම් සහ ගිලා බැසීම් සිදුව, ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලව පවතී. එමෙන්ම අධික ජල ධාරිතාවක් හීන් ඇල ඔස්සේ ගමන් කිරීම හේතුවෙන් මීටර් පනස් අටක දුර ප්‍රමාණයක ස්ථාන කිහිපයක් විශාල වශයෙන් ඛාදනයට ලක්ව මාර්ගයට හානි සිදුව ඇල මාර්ගයේ ඉවුරු විශාල ලෙස හානියට පත්ව ඇත.
චන්ද්‍රිකා කුමාරතුංග මාවත නඩත්තු කිරීමේ කටයුතු ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට හෝ පලාත් මාර්ග සංවර්ධන අධිකාරියට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පවරා නොතිබීම හේතුවෙන් දීර්ඝ කාලයක් කිසිදු අලුත්වැඩියාවකින් තොරව පැවතීම හේතුකොටගෙන මාර්ගයේ අබලන් තත්ත්වය උග්‍ර අතට පත්ව පැවතිණ. චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ නඩත්තු කටයුතු කිරීමේ නීත්‍යානුකූල භාරකාරිත්වය පිළිබඳ දීර්ඝ කාලීන ගැටලුව නිරාකරණය කිරීම වෙනුවෙන් කොලොන්නාව හා කඩුවෙල සම්බන්ධීකරණ කමිටු මැදිහත්වීමෙන් ගනු ලැබූ ඒකාබද්ධ විසඳුමක ප්‍රතිඵලයක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට මාර්ගයේ අයිතිය මේ වනවිට පවරා ගැනීම සිදුකරගෙන ඇත.
පසුගිය රජයන් කිහිපයක් යටතේ අලුත්වැඩියා කටයුතු අතහැර දමා තිබූ චන්ද්‍රිකා කුමාරතුංග මාවත හා හීන් ඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අඹතලේ – උඩුමුල්ල උතුර ග්‍රාම සේවා වසමේ මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ දී ආරම්භ කෙරිණ. කාපට් අතුරා සංවර්ධනය කෙරෙන චන්ද්‍රිකා කුමාරතුංග මාවත සඳහා වෙන්තර ඇති මුදල රුපියල් ලක්ෂ 2,750 කි. ඉවුරු ඛාදනයට ලක්ව ඇති හීන් ඇල සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 4,550 ක ප්‍රතිපාදන වෙන්කර ඇත. මේ ප්‍රතිසංස්කරණ යටතේ පැති බැමි ශක්තිමත් ලෙස ඉදිකර (Gabion Wall) මාර්ගයට සිදුවන හානි වැලැක්වීමට කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට කොලොන්නාව, කඩුවෙල, කොටිකාවත්ත – මුල්ලේරියාව පලාත් පාලන ආයතන නියෝජනය කරමින් මහජන නියෝජිකයෝ, රාජ්‍ය නිලධාරීහු, ඉදිකිරීම් සමාගම් කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.
