තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි තරුණියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු බ්‍රසීලයෙන් වාර්තා වෙනවා.
ෆෝස් ඩෝ ඉගුවාසු (Foz do Iguaçu) සිට සාවෝ පවුලෝ (São Paulo) බලා තනිවම ගමන් කරමින් සිටි 20 හැවිරිදි මෙම කාන්තාව බස් රථ ගමන අතරතුරදී රෝගාතුර වී තිබෙනවා.
බස් රථය පරානා ප්‍රාන්තයේ (Paraná) ගුආරපුආවාහි (Guarapuava) අවන්හලකදී නැවැත්වූ විට, ඇය හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවට ප්‍රකාශකර තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ මගීන් හදිසි සේවා අංකය අමතා වෛද්‍ය ප්‍රතිකාර වෙත ඇය යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇගේ තත්ත්වය නරක අතට හැරී ඇය අපස්මාර රෝගයකින් පෙළී ඇති බවයි සඳහන් වෙන්නේ.
මිනිත්තු 45ක් තිස්සේ ඇයව නැවත පණ ගැන්වීමට උත්සාහ කළද ඇය සිද්ධිය වූ ස්ථානයේම මිය ගිය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ප්‍රතිකාර අතරතුරදී, වෛද්‍යවරුන් විසින් කාන්තාවගේ සිරුරට ඇලවූ අයිෆෝන් 26ක් සොයා ගෙන ඇති අතර ඇගේ ගමන් මලුවලින් මත්පැන් බෝතල්ද හමුවී තිබෙනවා.
පරානා සිවිල් පොලිසිය ඇගේ හුස්ම ගැනීමේ අපහසුතා සහ හෘදයාබාධයට හේතුව තීරණය කිරීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වෙන්නේ.
රාජසන්තක කරන ලද අයිෆෝන් බ්‍රසීලයේ ෆෙඩරල් ආදායම් සේවයට (Brazil’s Federal Revenue Service) භාර දී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව ඇගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කර නැති අතර, විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා.
විශේෂයෙන්ම, බ්‍රසීලයේ අසල්වැසි රටවල් වන පැරගුවේ වැනි රටවලින් හොර රහසේ ගෙන එන ස්මාර්ට්ෆෝන් සඳහා විශාල කළු කඩයක් පවතින අතර මෑත වාර්තාවක් මගින් පෙන්නුම් කළේ මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කළු කඩයේ අයිෆෝන් අත්අඩංගුවට ගැනීම් 25%කින් ඉහළ ගොස් ඇති බවයි.
බලධාරීන් ඇස්තමේන්තු කරන්නේ දිනකට ජංගම දුරකථන 10,000ක් පමණ බ්‍රසීලයට හොර රහසේ ගෙන එන බවයි.
