Spread the love

උත්සව සමයේදී අධික ලාභ ලබමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට අවස්ථාවක් ව්‍යාපාරිකයන්ට ලබා නොදෙන බව ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කමිටුව අවධාරණය කරයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටින්නේ නවතම ක්‍රියාමාර්ග කිහිපයකට එළඹීමට තීරණය කළ බවයි. ඒ අනුව ආයනික ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට රේගුවේදී නියම වන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දැනුවත් කෙරෙති.

බදු සමග රේගුවේදී ආනයනික මිල සම්බන්ධ වාර්තාවක් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට සහ පාරිභෝගික අධිකාරියට නිකුත් කරන්නැයි කමිටුව රේගුවට නිර්දේශ කළේය.

ඒ අනුව ආහාර ද්‍රව්‍ය ආනයනික මිල සම්බන්ධයෙන් අඛණ්ඩව පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අරඹන බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. අයථා ලාභ ඉපයීම අවම කිරීමට පිටිවහලකි.

ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ නාම ලේඛනයක්, ප්‍රමාණ සහ රේගුවේදී මිල සම්බන්ධ වාර්තාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස, රේගුවට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබේ. එමගින් අයථා ලාභ ඉපයූ ව්‍යාපාරිකයන්ගෙන් අදාළ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවන අතර ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ද නිර්දේශ කළ බව රණවක මහතා සඳහන් කරයි. රුපියල් කෝටියකට වැඩි බදු නො ගෙවූ 4479 දෙනෙක් සිටිති. ඉන් අසූ අට දෙනෙකු කෝටි පනහත් සියයත් අතර මුදලක් බදු ලෙස ගෙවිය යුතු අය යි. රුපියල් කෝටි සියයකට අධික බදු නොගෙවූ 90 දෙනෙකි. ඔවුන්ගෙන් බදු අය කර ගැනීමට ක්‍රියා කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව නිර්දේශ කළේය.

කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ, කෙටිකාලීන බලපත්‍ර මත භාණ්ඩ ආනයනයට සීමා පනවන බවයි. ඒ වෙනුවට බලපත්‍ර කාණ්ඩ හත්දහස යටතේ පමණක් ආනයන බලපත්‍ර නිකුත් කරන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කෙරිණ. ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේද යටතේ භාණ්ඩයක ආනයනික මිල සහ ව්‍යාපාරිකයා ලබන ලාභය පිළිබඳ දැනුමක් පාරිභෝගිකයාට ලැබේ. අයුතු ලාභ සීමා කිරීමට එය පිටිවහලක් වෙතැයි රණවක මහතා විශ්වාස කරයි.

ක්‍රම සහ විධි කාරක සභාව හමුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ආදිය අද කැඳවා තිබිණ.

ඉන්පසු පැවති මාධ්‍ය හමුවේදී පාඨලී චම්පික රණවක මහතා කියාසිටියේ, මෙම ආයතන අතර සම්බන්ධතාව සහ දත්ත නිවැරදිව හුවමාරුව සඳහා කඩිනම් ක්‍රමවේදයක් සකසන ලෙසටද උපදෙස් නිකුත් කළ බවයි. මාධ්‍ය සාකච්ඡාව සඳහා කමිටු සාමාජික, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක් විය.