Spread the love

දේවින්ද පිණිදිය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය සියලුම බැංකුවල ඉහළ නිලධාරීන්, ණය අංශ වල නිලධාරීන්, මහා බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සමඟ අද (17) විශේෂ හමුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහ බැංකු චක්‍ර ලේඛණය අනුව අර්බුදයට ලක්ව ඇති සියලුම ව්‍යාපාරකයින් සඳහා මාස 03 ත් 06 ත් අතර ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමක් කඩිනමින් ලබා දීමට සියලුම බැංකු එකඟතාවය පළ කළ අතර මෙම සහනය ලබා දීමේදී කිසිදු අමතර ගාස්තුවක් හෝ අමතර පොලියක් එකතු නොවනු ඇත.

මෙම තීරණය සියලුම බැංකු ශාඛා වෙත දැනුම් දී ඇති අතර අදාළ ව්‍යාපාරකයින් විසින් තම බැංකුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුයි.

මීට අමතරව ගැටලු විසඳීම සඳහා පොදු යාන්ත්‍රණයක් පිළිබඳව ද එකඟතාවකට පැමිණි අතර මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද අඩු පොලී සහන ණයක් ලබා දීමට සියලුම බැංකු සූදානමින් සිටිනවා.
ඒ පිළිබඳ මාර්ගෝපදේශ මාලාව මහ බැංකුව විසින් නිකුත් කෙරණු ඇත.

මෙම සහන කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා, බැංකු පද්ධතියේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ඇති අර්බුදයට පත් ව්‍යපාරවල දත්ත හුවමාරු කරගැනීමටත් පොදු දත්ත පද්ධතියක් සහ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව එකඟතාවකට ද පැමිණියා.