මාලන් විතාන
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් හා සමාන ප්‍රවේශය තහවුරු කිරීම සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තිය දෙසැම්බර් 03 වැනිදා එළිදැක්වේ
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සමාන ප්‍රවේශය හා අභිමානය තහවුරු කරමින් ඔවුන් සවිබලගැන්වීම, ඒ සඳහා වන නීතිමය රාමුව ශක්තිමත් කිරීම සහ පොදු ජන ජීවිතයට එක්වීමේදී ඔවුන් මුහුණ දෙන පද්ධතිමය බාධා ඉවත් කිරීම අරමුණු කරගත් ජාතික ප්‍රතිපත්තිය වලංගුකරණය කිරීමේ වැඩසටහන පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
නිර්බාධිත සමාජ ජීවිතයක් යුක්ති සහගත සම ප්‍රවේශයක් වෙනුවෙන්, අන්තර්කරණය හා සමාජ සාධාරණත්වය පදනම් කරගත් සමාජයක් ගොඩනැඟීමේ දැක්ම පෙරදැරිව සකස් කර ඇති මෙම ජාතික ප්‍රතිපත්තිය, සහභාගීත්ව ප්‍රවේශය (Participatory Approach) මත පදනම්ව බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විවිධ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් සම්පාදනය කර තිබේ.
ඒ අනුව, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කළ මෙම ජාතික ප්‍රතිපත්තිය, එළඹෙන දෙසැම්බර් 03 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර ආබාධ සහිත තැනැත්තන්ගේ දිනයේදී නිල වශයෙන් එළිදැක්වීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය අපේක්ෂා කරයි.
මෙම ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේදී ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික පෙරමුණ (DOJF) ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.
එම අවස්ථාවට එක්වෙමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල , මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා සහයෝගය ලබාදුන් සියලු පාර්ශ්වයන් වෙත සිය ප්‍රශංසාව පළ කළේය.
