Spread the love

නිමල් රාජපක්ෂ-

පාසල් ප්‍රතිසංවිධාන කටයුතු යටතේ පාසල් ඒකාබද්ධ කිරීමේදී ප්‍රවාහන පහසුකම් සැපයීම අනිවාර්ය බැවින්, අදාළ ප්‍රදේශයට හා ගැටලුවට ගැළපෙන ලෙස ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත්, ආබාධ සහිත සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර අයවැයෙන් ද ප්‍රතිපාදන සපයා තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අදකොළඹ දිස්ත්‍රීක් අධ්‍යාපන අනු කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

ඇතැම් ප්‍රදේශවල පිහිටි පාසල්වල පෝෂණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ පාසල් පැමිණීමෙහි කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව මෙහිදී අණාවරණය විය.

පාසල් සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා පළාත් සභාව හරහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන, පාසල් මට්ටමින් හෝ ප්‍රාදේශීයව මුරකරුවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීමට ද සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඒ ඒ පාසල්වල අවශ්‍යතාව අනුව දෛනික ගෙවීම් ක්‍රමයක් යටතේ හෝ අයවැය ප්‍රතිපාදන මඟින් මුදල් වෙන් කර ගැනීමේ වැදගත්කමත්, ඇතැම් අවස්ථාවල පිටතින් සේවා ලබා ගැනීමේදී සුදුසු නිර්ණායක අනුව කටයුතු කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධානයක ලක්විය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ දෙමළ මාධ්‍ය පාසල් අඩුවීම, සිසුන්ගේ පාසල් හැරයාමට සහ පැමිණීම අඩුවීමට හේතුවක් වී ඇති බැවින්, එම ගැටලුව පවතින ප්‍රදේශවල පාසල් තුළ දෙමළ මාධ්‍ය පන්ති ආරම්භ කිරීමටත්, ඉදිරියේදී ත්‍රෛභාෂික පාසලක් ආරම්භ කිරීමටත් තීරණය කෙරිණි. ඕනෑම දරුවකුට තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

උප්පැන්න සහතික නොමැතිව පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන්ට අදාළ ලේඛන සකස් කර ගැනීමේදී පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා පාසල් මට්ටමින් පමණක් නොව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව ජංගම සේවා හෝ සම්බන්ධීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

බස්නාහිර පළාත තුළ විදුහල්පතිවරුන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් නොතිබූ අතර, පසුගිය කෙටි කාලය තුළ ප්‍රතිපත්තියක් සකසා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති බැවින් ලබන වසරේ සිට මාරුවීම් ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කළ හැකි බව ද මෙහිදී අවධාරණය විය.

විශේෂයෙන් පහසුකම් අඩු හෝ දුෂ්කර පාසල් පවත්වාගෙන යාමේදී විදුහල්පතිවරුන්ගේ කැපවීම වැදගත් බවත්, පාසල්වල තත්ත්වය සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් පෙන්වා දෙන ලදී.

පෙර පාසල් ගුරුවරුන්ට තම වෘත්තිය වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට සිදුවන බැවින්, ඔවුන්ට ලබා දෙන පුහුණුවලට අමතරව පුහුණු කට්ටල ලබා දීම ද සුදුසු බව සාකච්ඡා කෙරිණි. එසේම, ලබන වසරේ පුහුණු වැඩසටහන්වලදී ‘ශිෂ්‍ය කේන්ද්‍රීය’ යන්නෙහි සැබෑ අර්ථය සහ එය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.