Spread the love

නිමල් රාජපක්ෂ-

ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ රැස්වීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සහ පෙර සූදානම් විය යුතු ආකාරය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම එල්-නිනෝ තත්ත්වය හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. ඉදිරියේදී එළඹෙන යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල ගබඩා කර ගැනීම සහ පානීය ජලය සුරක්ෂිත කර ගැනීම සම්බන්ධවද සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳව අදාළ ආයතනවල අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඉදිරියේදී පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරුණු අතර, එල්-නිනෝ තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධව සැලසුම් සකස් කර එදිනට ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවලට උපදෙස් ලබා දෙන ලදී.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට  මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වයද හොඳින් කළමනාකරණය කිරීමට සැලසුම් පවතින බවත්, ඒ පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවත් අමාත්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ.

ස්වභාවික ආපදා කිසිසේත් පුරෝකථනය කළ නොහැකි බවත්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා කල්තියා සැලසුම් සකස් කළ යුතු බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ඒ.එල්.කේ. විජේමාන්නගේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.