Spread the love

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඔක්තෝබර් 15 වන දින ආරම්භ විය.

මෙම සැසිවාරය ඔක්තෝබර් 17 දින දක්වා පැවැත්වෙන අතර වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබිණි.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් කරයි. එමෙන්ම මෙම ප්‍රතිපත්ති සමාලෝචනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නව රජය පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ද වේ.

සැසිවාර දෙකක් යටතේ පැවැත්වෙන ප්‍රතිපත්ති සමාලෝචනය ආරම්භ කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සමාලෝචනයට ලක්වන රට විසින් සිදුකරන ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය ඇතුළුව මෑත වසරවලදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ අභියෝග අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉස්මතු කරන ලද අතර ජනතාව විඳ දරාගත් දුෂ්කරතා මධ්‍යයේ, 2024 නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව නව රජයේ පාලනය යටතේ දියත් කරන ලද, රට නැවත ගොඩ නැගීමේ උපාය මාර්ග පිළිබඳව ද ලෝක වෙළෙඳ සංවිධානයේ සාමජිකයින් දැනුවත් කරන ලදි.

ඒ අනුව IMF සහාය ඇතිව සාර්ව ආර්ථික ස්ථායීකරණය, රාජ්‍ය වියදම් කළමනාකරණය, ණය තිරසරු භාවයේ නව්‍ය උත්සහයන්, වෙළෙඳ පරිපාලනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ තුළින් ලබා ගත් සාර්තකත්වය පිළිබඳව ද මෙහිදී පෙන්වා දෙන ලදි.

වෙළෙඳාම සහ ආයෝජන ශ්‍රී ලංකාවේ දිගුකාලීන පරිවර්තනයේ කේන්ද්‍රය බව අවධාරණය කළ අමාත්‍යවරයා “කුඩා ආනයන මත යැපෙන ආර්ථිකයක සිට ස්මාර්ට්, අපනයන නැඹුරු ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට අපට අවශ්‍යයි.” මේ සඳහා, රජය ජාතික තීරුබදු ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරමින්, ඩිජිටල්කරණය හරහා ශ්‍රී ලංකා රේගු කටයුතු නව්‍යකරණය කරමින්, ජාතික පොදු ප්‍රවේශයක් හඳුන්වා දෙමින් සහ නව ආයෝජන ප්‍රවර්ධන නීති සංවර්ධනය කරමින් සිටින බවද සඳහන් කරන ලදි.