නිමල් රාජපක්ෂ-
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත පිරිසක් ජූනි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
UNFPA නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, කාන්තා සෞඛ්‍යය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා UNFPA විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය අගය කළාය.
මෙම හමුවට සහභාගී වූ UNFPA නියෝජිත පිරිස ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය තවදුරටත් ප්‍රධාන අභියෝගයක් බව පෙන්වා දුන් අතර, එම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා පුළුල් ප්‍රතිපත්තිමය විසදුම් සකස් කිරීම පිළිබඳව සඳහන් කළහ.
එම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන අංශ රැසකින් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත්, එම ප්‍රගතිය පවත්වාගෙන යාම සහ තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය. එසේම, ඒකාබද්ධ සේවා සැපයීම, සංවර්ධන හවුල්කරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් තරුණ පරපුර අතර ප්‍රජනන සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ආසියා හා පැසිෆික් කලාපය සඳහා UNFPA කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය Aleksandar Sasha Bodiroza මහතා, ශ්‍රී ලංකාවේ වැඩබලන UNFPA නියෝජිත Phuntsho Wangyel මහතා ඇතුළු UNFPA නියෝජිත පිරිස, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, එක්සත් ජාතීන් සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකා සෝමරත්න මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ
