Spread the love

නිමල් රාජපක්ෂ

මඩකලපුව එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (14) පස්වරුවේ පැමිණියහ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහලට මෙම අවස්ථාව හිමි විය.

ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.

සමාජයට නායකත්වය දෙන, ලෝකය වෙනස් කිරීමට අවධානය යොමු කරන අනාගත පරපුරක් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා අනාගත දරු පිරිස සූදානම් කිරීම මෙන්ම රටට වැඩදායී  ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම රජයේ අපේක්ෂාව බවද  අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය මෙන්ම, එමගින් පාසල් සිසුන්ට හිමි වන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් සිසු-සිසුවියන් දැනුවත් කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ලබා දීමද සිදු විය.

ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.