Spread the love

නිමල් රාජපක්ෂ-


ඉදිකිරීම් කර්මාන්තය සඳහා භාවිත කරන කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි ඇතුළු ඛනිජ ද්‍රව්‍ය කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.


ඒ අනුව 2026 ජූලි 22 දිනැති අංක 01/2026 දරන කර්මාන්ත අමාත්‍යාංශ චක්‍රලේඛය මගින් ඉදිකිරීම් කර්මාන්තය සඳහා භාවිත කරන ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින ක්‍රියාපටිපාටිය තවදුරටත් පැහැදිලි කර ඇත.


අදාළ චක්‍රලේඛයට අනුව කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි වැනි ද්‍රව්‍ය කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සිදු කිරීමේදී අදාළ බලපත්‍ර හා අවසර ලබා ගැනීම වැදගත් වේ. විශේෂයෙන් බලපත්‍ර නොමැතිව හෝ නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව එවැනි ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමට මෙම උපදෙස් මගින් අවධානය යොමු කර තිබේ.


මෙහිදී ඛනිජ ද්‍රව්‍ය කැණීම සඳහා අවසර ලබාගැනීමෙන් පසු ඒවා ප්‍රවාහනය කිරීමේදීද අදාළ නීතිමය හා පරිපාලන අවශ්‍යතා සපුරාලිය යුතු බව අවධාරණය කර ඇත. එමගින් නීත්‍යානුකූලව කැණීම් කරන ලද ඛනිජ ද්‍රව්‍ය පමණක් ප්‍රවාහනය කිරීම තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.


අමාත්‍යාංශ ලේඛනයේ සඳහන් කර ඇති පරිදි, ඉදිකිරීම් කර්මාන්තය සඳහා භාවිත කරන ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර තිබූ උපදෙස් සහ ක්‍රියාපටිපාටිද සැලකිල්ලට ගෙන මෙම නව උපදෙස් නිකුත් කර තිබේ. ඒ සඳහා 2021 ඔක්තෝබර් 05 දිනැති අංක 21/1766/31/022 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ඇතුළු පෙර තීරණ හා උපදෙස්ද පදනම් කරගෙන ඇති බව ලේඛනයේ සඳහන් වේ.
ඒ අනුව ඛනිජ ද්‍රව්‍ය කැණීමේ සිට ඒවා ප්‍රවාහනය කිරීම සහ වෙළෙඳාම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. නීත්‍යානුකූල බලපත්‍ර හා අවසර යටතේ මෙම කටයුතු සිදු කිරීම තුළින් අනවසර කැණීම් සහ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය කිරීමටද හැකි වනු ඇත.
කළුගල්, වැලි, පස්, බොරළු හා මැටි ප්‍රවාහනයේ නිරත පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන් අදාළ බලපත්‍ර ලබාගෙන නියමිත ක්‍රමවේදයට අනුව කටයුතු කිරීම වැදගත් බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න