නිමල් රාජපක්ෂ-
කොළඹ නාගරික ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම් ලාභී ජනතාව සඳහා ඉදිකරන ලද කිරුලපන ඩී. එම්. කොළඹගේ මාවත, THE RESIDENCIES KIRULAPONE නව මහල් නිවාස සංකීර්ණය අද දින (2026.07.04) ජනතා අයිතියට පත්කෙරිණ.
ජනතා අයිතියට පත්කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
B1 සහ B2 ලෙස පර්යන්ත 2කින් සමන්විත THE RESIDENCIES KIRULAPONE හි එක් පර්යන්තයක මහල් 11 කි; නිවාස ඒකක 624 කි. ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 5,784 කි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍යාධාර යටතේ ආරම්භ කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය 2025 වසරේ මුල් කාර්තුවේදී පහසුකම් වැඩිදියුණු කරන ලද නව සැලසුමකට අනුව ගොඩනැංවීම ආරම්භ කෙරිණ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ නාගරික සවර්ධන අධිකාරියේ සේවා සහ තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නගර පුනර්ජීවන වැඩසටහනට සහය වීමේ ව්‍යාපෘතිය මගිනි.
මහල් නිවාස සංකීර්ණය තුල පූර්වාරාම ජනපදය, නාරාහේන්පිට සමගි මාවත, කිරිමණ්ඩල මාවත සමගි වත්ත, උප නාගරික දුම්රිය මාර්ග ව්‍යාපෘතියට නිවාස අහිමිවන ජනතාව, කිරිමණ්ඩල මාවත පිච්චමල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙත නිවාස ඒකක ලබාදී ඇත.
ගිණි නිවන පද්ධති, ගෑස් පද්ධති, අභ්‍යන්තර හා බාහිර විදුලි පද්ධති, ජල පහසුකම්, මලාපවහන පද්ධති සේවා සහ මගී විදුලි සෝපාන පද්ධති, පොදු රථගාල ඇතුළුව අංග සම්පූර්ණ පහසුකම් සහිතව කොළඹගේ මාවත නව මහල් නිවාස සංකීර්ණය නිමවා ඇත. එහිදී ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ පොදුවේ ජීවන තත්වය උසස් තත්වයකට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය නව පහසුකම් මෙන්ම යටිතල පහසුකම් රැසක් ද මෙම ව්‍යාපෘතියට එක් කර ඇත. පෙර පාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, නවීන වෙළඳසැලක්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්, ග්‍රාම නිලධාරි කාර්යාලයක්, පොලිස් උප පොලක්, ගිණි නිවීම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇතුළුව නව අංගෝපාංගයන් රැසක් මෙහි ස්ථාපිත කර ඇත.
පහසුකම් නැංවීමේ දෙවෙනි පියවර යටතේ මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ආරක්ෂිත හා කාර්යක්ෂමව සිදුකර ගැනීමට අවශ්‍ය නව ප්‍රවේශ මාර්ග 5ක් සංවර්ධනය කෙරේ. ඒ අතරට හත්වන සහ පස්වන පටුමග සම්බන්ධිතව නව ප්‍රවේශ මාර්ගයක්ද ඉදිකෙරේ. එමෙන්ම කිරුලපන ඇල හා සම්බන්ධිත වන සියලුම ඇල මාර්ග පද්ධති පුළුල් කර සංවර්ධනය කිරීමටද සැලසුම්ගතය. ජල ගැලීම් වැළැක්වීම සඳහා නව ජල රඳවන තටාකයක්ද මීට සමගාමීව ඉදිකෙරෙනු ඇත.
විවිධ රැකී රක්ෂාවල යෙදෙන ජන පිරිස් මෙහි වාසයට පැමිණෙන බැවින් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා නව වෙළඳසැල් 38 කින් සමන්විත ව්‍යාපාරික ගොඩනැගිල්ලක්ද ඇවිදින මංතීරු පද්ධතියක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම්ද මේ ආශ්‍රිතව ඉදිකෙරේ.
‘ජාතික ජන බලවේග ආණ්ඩුවේ පාලනය යටතේ ජනතා අයිතියට පත්කරන කිරුලපන මහල් නිවාස සංකීර්ණය පවතින මහල් නිවාස සංස්කෘතිය වෙනස් කරන අවස්ථාවක්. මෙහි ක්‍රියාකාරීත්වය ඉදිරියේදී ගොඩනැගෙන මහල් නිවාස සඳහා හිතකර පරිවර්තනයකට ආදර්ශයක් කරගත යුතු වෙනවා. විවිධ සමාජ කණ්ඩායම් එකතුවක් තුළින් හැදෙන සංස්කෘතිය වඩාත් යහපත් වීමෙන් මහල් නිවාස ජීවිතවලට නව ආරම්භයක් ඇතිවෙනවා. ගොඩනැගිල්ලක් හදනවාට වඩා අපේ මල් වගේ සිටින දරුවන්ට හොඳ, ආරක්ෂිත තැනක් ලබාදීම වගකීමක්.
