Spread the love

සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයෙහි වැඩ විසූ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ රෝහල් සේවා මණ්ඩලයේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහි දී රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් රෝහල් හා වෛද්‍ය උපකරණ තොගයක් ද කොළඹ ජාතික රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 68කි. මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබා දී ඇත. ඉතිරි මුදල රෝහල් සේවා මණ්ඩලය විසින් වැයකර ඇති අතර මෙහි ඉදිකිරීම් සදහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින් ලබා දී ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝකයේ විවිධ රටවල වෙසෙන ජනතාවගෙන් උදවි උපකාර ලබාගෙන මෙරට ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමට පුජ්‍ය රජවැල්ලේ සුභූති හිමි ඇතුළු කණ්ඩායම සිදුකරන මැදිහත්වීමට, මගපෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තම ගෞරවය පිරිනමන බව පැවසී ය.

තමන් දේශපාලනයට පැමිණිමට පෙරත්, පැමිණි පසුත්, ඇමතිකම් භාරගැනීමට පෙරත්, ස්වේච්ඡා කටයුතු රාශියක් සිදුකරමින් සිටි බව පැවසූ අමාත්‍යවරයා එම කටයුතු ඉතා සීඝ්‍රග්‍රාමීව මීටර් සියය දුවන්නාසේ සිදු කළ හැකි වූ බව පැවසීය. නමුත් රජයේ කටයුතු සිදුකරන විට එය මීටර් සියය දුවනවා සේ අති වේගවත්ව සිදුකිරීමට නොහැකි බවත්, එය මීටර් සියය අතර කඩුළු දුවනවා සේ සිදු කළ යුතු කාර්යක් බව මෙහි දී පෙන්වා දෙන ලදී.