නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව සුරක්‍ෂිත රටක් තහවුරු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය රටතුළට ගෙන ඒම වැලැක්වීම සඳහා සිදුකරනු ලබන තීව්‍ර නාවික මෙහෙයුම් අතරතුරදී ලද විශ්වසනීය තොරතුරකුට අනුව, ඊයේ (14) උදෑසන කාලයේ, දකුණු දිග මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක තොගයක් අඩංගු උර පනස් එකක් (51) නාවික හමුදා භාරයට ගෙන ඇත.
තංගල්ල ධිවර වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’ යන රජයේ දැක්ම යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන්, මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපවත්වා ජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සහ මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා සහයෝගීත්වයෙන්, දිවයින වටා වෙරළ සහ දේශීය ජල තීරය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.
ඒ අනුව, බුද්ධි සේවාවන් වෙතින් ලද විශ්වසනීය තොරතුරකට අනුව, නැගෙනහිර සහ දකුණු නාවික විධානයට අයත් නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව දින ගණනාවක් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස, දකුණුදිග මුහුදේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා තිබූ උර තොගයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර පනස් එකක (51) තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම උර තොගය තංගල්ල ධීවර වරායට රැගෙනවිත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ විශේෂඥ පරීක්‍ෂාවේදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 670 ග්‍රෑම් 676ක පමණ තොගයක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 156 ග්‍රෑම් 542ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 036 ක පමණ තොගයක් එම උර පනස් එකෙහි (51) අඩංගු බවට තහවුරු විය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කරයි.
