Spread the love

වගාවන් රැක ගැනීම සඳහා පැල් රකිමින් සිටි කහටගොල්ලෑවේ ගොවියෙකු එකී පැලේ ගිණි මැලයට වැටී සැක සහිත ලෙස මිය ගොස් ඇතැයි වාහල්කඩ පොලීසිය පවසයි.

කැබිතිගොල්ලෑව ගල්කඩවල ගමෙහි පදිංචිව සිටි 72 හැවිරිදි ධනපාලගේ ආරියරත්න යන ගොවියා මෙලෙස සැක කටයුතු අන්දමින් මිය ගොස් ඇත.

මරණකරුගේ පළමු විවාහයෙන් දරුවන් සිව් දෙනෙකු සිටින අතර දෙවන විවාහයේ බිරිඳට දරුවන් නොමැත.

මරණකරු අක්කරයක පමණ වට්ටක්කා වගා කර ඇති ඉඩමේ වගාවන් රැක ගැනීම සඳහා මෙසේ දිනපතා රාත්‍රී කාලයේ පැල් රැකීමට යන අතර ඊයේ (29) රාත්‍රීයේ ද පැල් රැකීමට ගොස් සිටිය දී බිම ඉදිකර තිබූ පැලේ ලී මැස්සක නිදා ගනිමින් සිටිය දී මෙසේ ඒ අසළ තිබූ ගිණි මැලයට වැටී මියගොස් ඇති බවට පොලිසීය සැක පහළ කරති.

අද දහවල් ස්ථානීය පරීක්ෂණය සදහා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා පැමිණි අතර මෘතදේහය අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට පශ්චාත් වෛද්‍ය මරණ පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කර මෘතදේහය භූමදානය කිරීමට ද බාර කරුවන්ට නියෝග කළේය.

වාහල්කඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.