Spread the love

නිමල් රාජපක්ෂ
ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වාවිමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, එහි පළමු වසර තුළ ඉහළම කාර්ය සාධනයක් දැක්වූ බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ විශේෂ වැඩසටහනක් කථානායක,ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) කොළඹ මිලෝදා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් සිදු කෙරුණු ජනාධිපති අරමුදලේ සේවාවිමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, 2025 වර්ෂය තුළ ඉහළම කාර්ය සාධනයක් වාර්තා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේහෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙලෙස ඇගයීමට ලක් විය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහිදී ඇගයීමට ලක් විය.
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , බේරුවල සහ බණ්ඩාරගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට ලක් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාසඳහන් කළේ කොළඹට කේන්ද්‍රගතව තිබූ ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත් කරමින් එහි කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින්විමධ්‍යගත කිරීමට වත්මන්රජය යටතේ පියවර ගත් බවයි.
එම කාර්යයේදී ජනාධිපති අරමුදලේ මුහුණුවර බවට පත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බව පෙන්වා දුන් ලේකම්වරයා මීට පෙර “පුළුවන් නම් ගන්න” වශයෙන් තිබූ ජනාධිපති අරමුදල‍, “අපි ඔබට දෙනවා” යන අර්ථයට පරිවර්තනය කිරීමට මේ වන විටසමත්ව තිබෙන බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා
කොළඹට කේන්ද්‍රගතව තිබූ ජනාධිපති අරමුදල ගමට ගෙන ගිහින් පෙබරවාරි මස 07 වන විට වසරක් ගත වෙනවා. 1978 සිට 2025 පෙබරවාරි මස 07 දක්වා කොළඹ සිට ක්‍රියාත්මක වූ ජනාධිපති අරමුදල ගමට ගන යෑමේදී විශාලම සේවාව, කැපකිරීම්, මැදිහත්වීම් කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බව පැවසිය යුතුයි.
එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ගණකාධිකාරීවරු, විෂය නිලධාරීන් සහ ක්ෂේත්‍රරාජකාරිවල නිරත අනිකුත් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ අනිකුත් කේෂ්ත්‍ර නිලධාරීන් විශිෂ්ට සේවාවක් සිදු කළා.මේ නිලධාරීන් මේ කාර්යය කරන විට කිසිම වේලාවක නැහැ, බැහැ කිව්වේ, අදිමදි කළේ නැහැ. ඔවුන් බාධක මධ්‍යයේ මේ කටයුතු සිදු කළා.
පළමු වසර අවසානයේදී මේ කාර්යය කොතරම් සක්‍රීයව, සාර්ථකව තමන් අතින් සිදු වෙනවාද කියා ඔවුන් දැනගත යුතුයි කියා සහ ඔවුන් ඇගයීමට ලක්කළ යුතුයි කියා අප කල්පනා කළා. ඒ අරමුණ ඇතිව පළමුව බස්නාහිර පළාතෙන් ඇගයීම ආරම්භ කරන්න අප හිතුවා. හේතුව තමයි, අතීතයේ අයැදුම්පත්‍රවලින් තුනෙන් දෙකක් ආවේ බස්නාහිර පළාතෙන්. මේ කාර්යයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල තමයි ජනාධිපති අරමුදලේ මහජන මුහුණුවර. මීට පෙර “පුළුවන් නම් ගන්න”වශයෙන් තිබූ ජනාධිපති අරමුදල‍, “අපි ඔබට දෙනවා” කියන තැනට 2025 පෙබරවාරි මස 07 වැනිදා සිට පරිවර්තනය කළා. මෙයට සමගාමීව අනෙකුත් වෛද්‍යාධාරද ජුනි මස සිට විමධ්‍යගත කළා.
ඔබ නොවන්න ජනාධිපති අරමුදලින් සේවා ලබා ගැනීමටඅන්ත අසරණ, පීඩාවට පත් ජනතාවටකොළඹට පැමිණීමට සිදු වෙනවා . ජනාධිපති අරමුදලේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය වුණේ සියලුම දෙනාට සමානව සලකන අරමුදලක් බවට පත් කිරිම සහ විනිවිදභාවයයි. මීට පෙර ප්‍රතිලාභ ලබා ගැනීමේ පසුබිම සොයා බැලුවේ නැහැ. ඒ වගේම අතීතයේ තරාතිරම් අනුව ආධාර මුදල් අඩු වැඩි වශයෙන් ලබා දුන් බවට උදාහරණ තිබෙනවා. ඇතැම් ආධාර කොතැනකවත් සටහන් වෙලා නැහැ. දැන් එහෙම වෙන්නේ නැහැ. ඔබට තමයි මේ වගකීම පැවරී තිබෙන්නේ. මේ කාර්යය බස්නාහිර පළාතේ ඔබ විශිෂ්ට ලෙස සිදු කළා. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රා‌දේශීය ලේකම් කාර්යාල ඇගයීමට අපි බලාපොරොත්තු වෙනවා.
ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජිකයන් වන එස්. සී. මායදුන්න, සම්මානිත මහාචාර්ය ජේ. ජයකොඩි, රාජ්‍ය පරිපාලන, පළාත් සභාහා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්වරුන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් සහ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ. ඩබ්. එස්. කිත්සිරි යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරිවරුන්, විෂයභාර නිලධාරීන් සහ ප්‍රාදේශීය මට්ටමින් සේවා සපයන නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.