Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතියට සමඟාමීව, කඩොලාන පැල හාරසියයක් (400) රෝපණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට  යාබදව පිහිටි වෙරුගල් ආරු ගඟ සහ උක්කේනි කලපු සහ  වෙරළ තීර‍යන් ආශ්‍රිතව  සිදු කෙරිණි. 

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ, ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රමුඛ  පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවනු ලබන අතර, ටෝකියෝ සිමෙන්ති සමාගම හා එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් වෙරළ ආරක්‍ෂාව ඉහළ නැංවීම, ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම සහ දේශගුණික වෙනස්විම් සඳහා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම ප්‍රධාන අරමුණු වේ.

ඒ අනුව, මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ  අණදෙන නිලධාරී ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී විය.