Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල දේශසීමා සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අලුතින් ඉදිකරන ලද නව පස්මහල් කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලය (Port Health Office) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) නිල වශයෙන් විවෘත කෙරිණි.

කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ, නීරෝධායන කටයුතු සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකර තිබේ. ජාත්‍යන්තර නෞකා පරීක්ෂා කිරීම, Free Pratique අවසරපත් සහ Ship Sanitation Certificates නිකුත් කිරීම, රෝග නිරීක්ෂණ හා වාහක පාලන (Vector Control) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම ද මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරයන් අතර වේ.

මෙම නව වරාය සෞඛ්‍ය කාර්යාලය ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද “නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ඉදිකර ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 168 කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයකි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වරාය ආශ්‍රිත සෞඛ්‍ය හා නීරෝධායන සේවාවන් සඳහා ඉදිකරන ලද මෙම නව කාර්යාල සංකීර්ණය අදට වඩා අනාගතයේදී වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයෝජනයක් බවයි.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයෙන් මිදී ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා ගමන් කරමින් සිටින අතර, එම ගමන්මඟේදී වරාය පද්ධතිය රටේ ආර්ථිකයේ ප්‍රධාන දොරටුවක් ලෙස සුවිශේෂී වගකීමක් ඉටු කරන බව අමාත්‍යවරයා පැවසීය. එබැවින් වරාය ආශ්‍රිත සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම යනු මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොව, රටේ ආර්ථික සුරක්ෂිතභාවයද තහවුරු කිරීමක් බවද හෙතෙම අවධාරණය කළේය.

සියවසකට අධික ඉතිහාසයකට හිමිකම් කියන වරාය සෞඛ්‍ය සේවාවේ වැදගත්කම ඉදිරි දශකයන්හි තවදුරටත් ඉහළ යනු ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කොළඹ, හම්බන්තොට, ගාල්ල, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය වරායන්හි සෞඛ්‍ය හා නීරෝධායන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙම නව පහසුකම් විශාල ශක්තියක් වන බව සඳහන් කළේය. එමෙන්ම වරාය සෞඛ්‍ය සේවාවේ නිරත කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමට අවශ්‍ය යටිතල පහසුකම් මෙමඟින් තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා පැවසීය.