Spread the love

 නිමල් රාජපක්ෂ

ගෝලීය සහ කලාපීය සහයෝගීතාවයද, සුරක්‍ෂිත සාගර කලාපයක් වෙනුවෙන් වන සාමූහික වගකීමද පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවති ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් පැමිණි විදේශීය යුද නෞකා විසින්, දිවයිනේ ජාතික ආපදා අවස්තාවේදී මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා දක්වන ලද සහය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රනාමය පුද කිරීම, පසුගියදා ගාළුමුවදොරට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී පැවති, 2025 ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණයේදී සිදුකෙරිණි.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය, යුද නෞකා වෙතින් පිරිනමන ලද සාම්ප්‍රදායික යුද නෞකා ආචාරය පිළිගැනීම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී සිදුකෙරිණි.  

“Sailing Strong-Together”, ඒකාබද්ධ වීම තුලින් සුරක්‍ෂිත තිරසාර සාගර කලාපයක් යන තේමාව යටතේ සංවිධානය කෙරුණු  මෙම සාම්ප්‍රදායික යුද නෞකා නිරීක්‍ෂණයට සහභාගීවීම සඳහා; බංගලාදේශ නාවික හමුදාවේ  ‘PROTTOY’ යුද නෞකාව, ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා INS UDAYAGIRI යුද නෞකාව, ඉරානය නියෝජනය කරමින් ‘IRIS NAGHDI’ යුද නෞකාව, මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායේ ‘CGS HURAVEE’ වෙරළාරක්‍ෂක නෞකාව, මැලේසියානු නාවික හමුදාවේ  ‘KD TERENGGANU’ යුද නෞකාව, පාකිස්ථානු නාවික හමුදාවේ ‘PNS SAIF’ යුද නෞකාව සහ රුසියානු නාවික හමුදාවේ ‘GREMYASCHCHY’ යන යුද නෞකා අ‍ට (08) 2025 නොවැම්බර් 27 දින වන විට දිවයිනට ලඟාවිය.   

අනපේක්‍ෂිතව, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇතිවූ ජාතික ආපදා තත්වය මත, දිවයිනපුරා ක්‍රියාත්මක කෙරුණු ආපදා සහන මෙහෙයුමට ශක්තියක් වෙමින්, දිවයින‍ට පැමිණි මෙම යුද නෞකා වෙතින් මානුෂීය ආධාර ලබා දීම සිදු කෙරුණු අතර, විශේෂයෙන්, ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙතින් සහ පාකිස්ථානු නාවික හමුදාවේ ‘PNS SAIF’ යුද නෞකාව වෙතින් හෙලිකොප්ටර් යානා යොදවමින්, ආපදාවට පත් පුද්ගලයන් සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක විය.   

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ; බංගලාදේශ, ඉන්දීය, ඉරාන, මාලදිවයින්, මැලේසියා, පාකිස්ථානු සහ රුසියානු මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල නියෝජනය කරමින් රජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක් වූ අතර, ශ්‍රී ලංකාවේ ඇති වූ ජාතික ආපදා තත්වය හමුවේ ක්‍රියාත්මක කෙරුණු මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සඳහා දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් එහිදී අග්‍රාමාත්‍යතුමිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් වෙත ප්‍රනාමය පල කිරීමට කටයුතු කෙරණි.