නිමල් රාජපක්ෂ –
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ලෝකයේම ඇගයීමට ලක්වන සාර්ථක සෞඛ්‍ය පද්ධතියක් බවට පත් කිරීමේදී සියවසක් පුරා නිහඬ නමුත් අතිවිශිෂ්ට ජාතික මෙහෙවරක් ඉටු කළ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (National Institute of Health Sciences – NIHS) සියවස් සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ මහජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත සෞඛ්‍ය පාගමන අද (10) පෙරවරුවේ කළුතර නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහා නගර සභා පරිශ්‍රයෙන් ආරම්භ වූ මෙම පාගමන, සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්, ආදි විද්‍යාර්ථීන්, පුහුණුව ලබන සිසුන්, රාජ්‍ය නිලධාරීන් සහ විශාල ජනතා සහභාගීත්වයක් මධ්‍යයේ කළුතර නගරය හරහා කිලෝ මීටර හතරක දුරක් ගමන් කරමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ළඟා වූ අතර, එම ගමන් මඟ පුරා මහජනතාව වෙත සෞඛ්‍ය ප්‍රවර්ධන පණිවිඩ, රෝග නිවාරණ උපදෙස් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.
පාගමනේ ගමන්කරන අතරතුර අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධානතම අධ්‍යාපන හා පුහුණු ආයතනය වන අතර, එහි දායකත්වය මෙරට සීමාවෙන් ඔබ්බට දකුණු හා අග්නිදිග ආසියානු කලාපයට මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්රයට ද වැදගත් වන සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව දැනුම හුවමාරු කරගැනීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම ආයතනය ක්‍රියාත්මක වන බව සිහිපත් කළ අමාත්‍යවරයා, සියවසක ඉතිහාසයකට හිමිකම් කියන මෙම ආයතනය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇති බව අවධාරණය කළේය.
විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඇතුළු මහජන සෞඛ්‍ය හා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ වෘත්තීය පුහුණුව ලබාදීමේ ප්රමුඛ කාර්යභාරය කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය විසින් දශක ගණනාවක් පුරා ඉටුකර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ක්ෂේත්රය තුළ ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන ඇත්තේ මෙවැනි ආයතන විසින් ගොඩනැඟූ ශක්තිමත් මානව සම්පත හේතුවෙන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සියවස් සැමරුම් උත්සව මාලාවේ ආරම්භය පසුගිය මස 1 වැනිදා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුකළ බව සඳහන් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, එහි තවත් වැදගත් අංගයක් ලෙස මෙම මහජන දැනුවත් කිරීමේ පාගමන සංවිධානය කර ඇති බව පැවසීය. එමෙන්ම මෙම මස 30 සහ 31 යන දෙදින හා අගෝස්තු මස 1 වැනිදා ඇතුළුව තෙදිනක් පුරා සෞඛ්‍ය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමීව තවත් අධ්‍යාපනික හා සමාජීය වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව ද සිහිපත් කළේය.
මෙම පාගමන කළුතර නගර ශාලා පරිශ්‍රයෙන් ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා, එම ස්ථානයට ආසන්නව 1926 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ ද ප්‍රථම සෞඛ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබූ බව සිහිපත් කළ අතර එම ඓතිහාසික මූලාරම්භය සංකේතවත් කරමින් පාගමන ජාතික සෞඛ්‍ය විද්‍යායතනය දක්වා ගමන් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පාගමන අතරතුර බෝ නොවන රෝග වළක්වා ගැනීම, ඩෙංගු ඇතුළු වාහක මඟින් බෝවන රෝග පාලනය, නිසි පෝෂණය, මාතෘ හා ළමා සෞඛ්‍යය, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, පාරිසරික පිරිසිදුකම, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනැගීම පිළිබඳ පණිවිඩ ජනතාව වෙත රැගෙන යනු ලැබූ අතර, සෞඛ්‍ය අධ්‍යාපනික පත්‍රිකා ද බෙදාහරිනු ලැබීය.
මෙම පාගමන සදහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ එයට අනුබද්ධ පුහුණු ආයතනවල කාර්ය මණ්ඩලය, හිටපු අධ්යක්ෂවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්, මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියන්, වර්තමාන සිසුන්, ආදි විද්‍යාර්ථීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, කළුතර මහා නගර සභාවේ නියෝජිතයන්, සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ ප්‍රදේශයේ විශාල ජනතා පිරිසක් එක්ව සිටියහ.
1926 ජූලි 01 වැනිදා රොක්ෆෙලර් පදනමේ දායකත්වයෙන් ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය ලෙස ආරම්භ වූ මෙම ආයතනය, පසුගිය සියවස පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්, මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියන් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටිය බඳු මානව සම්පත බිහිකරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ජයග්‍රහණවලට ශක්තිමත් පදනමක් සකස් කර තිබේ.
සියවස් සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම ජනතා සෞඛ්‍ය පාගමන, අතීතයේ විශිෂ්ට මෙහෙවර අගය කිරීමක් පමණක් නොව, නව දැනුම, නව තාක්ෂණය සහ නව අභියෝග හමුවේ ප්‍රජා මූලික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් “නිරෝගී ශ්‍රී ලංකාවක්” ගොඩනැගීමේ ජාතික වගකීම යළි තහවුරු කළ ඓතිහාසික අවස්ථාවක් ලෙස ද සනිටුහන් විය.
මෙම අවස්ථාවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය කේ. නන්තකුමාරන් (Dr. Nanthakumaran),නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි, යන මහත්වරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් (UNICEF) යන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියළු සෞඛ්‍ය වෘතිතීන් නියෝජනය කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාළ පිරිසක් ද එක්ව සිටියහ.
