Spread the love

නිමල් රාජපක්ෂ-


ඩෙල්ෆ්ට් දූපතට දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයේ ගල්පරයක ගැටී අද දින (2026 අගෝස්තු 06) අළුයම් කාලයේදී ආපදාවට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවෙහි සිටි ධීවරයින් එකොළොස් (11) දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය යාත්‍රාවන් යොමු කර සිදුකරන ලද කඩිනම් මුදාගැනීමේ මෙහෙයුමක් මඟින් ආරක්ෂිතව මුදවා ගැනීමට සමත් විය.  

එම මෙහෙයුම මගින් මුදා ගත් ඉන්දීය ධීවරයින් ආරක්ෂිතව ඩෙල්ෆ්ට් දූපත වෙත රැගෙන ගොස් ඔවුන් වෙත අවශ්‍ය ආහාර, පානීය ජලය සහ අනෙකුත් මූලික අවශ්‍යතා ද සැපයීමට ද නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඉන්දීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (International Maritime Boundary Line – IMBL) උල්ලංඝනය කර ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතුවල (Bottom Trawling) නිරතව සිටියදී ගල්පරයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව විසින් මුදවා ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුහුදේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධ ජාත්‍යන්තර වගකීම්, සමුද්‍රීය සෙවීමේ හා මුදාගැනීමේ (Search and Rescue – SAR) වගකීම්වලට අනුකූලව මුහුදේදී අනතුරට පත්වන පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින අතර, මෙම මෙහෙයුම එම කැපවීම යළිත් තහවුරු කරන අවස්ථාවක් ලෙස සැලකේ.