නිමල් රාජපක්ෂ-
අනුරාධපුර, තන්තිරිමලේ පහළ මල්වතු ඔය ආශ්රිතව පිහිටි විල්පත්තුව ජාතික වනෝද්යාන පිවිසුම් මාර්ගය නිසි අධ්යයනයක් සිදු කර කඩිනමින් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණයට එළැඹියේ පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි ගේ ප්රධානත්වයෙන් වන්කාලෙයි රැම්සා තොරතුරු මධ්යස්ථානයේදී පැවති විශේෂ ප්රගති සමාලෝචන සාකච්ඡාවකදීය.
සමුපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ , පරිසර අමාත්යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය ජයතුංග , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂ මංජුල අමරරත්න ඇතුළු දිස්ත්රික් දේශපාලන අධිකාරියේ හා රාජ්ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මීට අමතරව, මන්නාරම – මොල්ලිකුලම හරහා ද විල්පත්තු පිවිසුම් මාර්ගය විවෘත කර දේශීය හා විදේශීය සංචාරකයන්ට පහසුකම් සලසන ලෙස ප්රදේශයේ දේශපාලන අධිකාරිය හා රාජ්ය නිලධාරීන් මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් කළහ. එම පිවිසුම හරහා අභයභූමියට ඇතුළු වීමේදී වැඩි දුරක් ගමන් කිරීමට සිදුවන බව වනජීවී නිලධාරීන් පෙන්වා දුන් අතර, සංචාරක ආකර්ෂණය සහ ප්රජා ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ ඉදිරියේදී ධනාත්මකව අවධානය යොමු කළ හැකි බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
එමෙන්ම, සාකච්ඡාවේදී මන්නාරම සිලාවතුර ආශ්රිත කොරල්පර කලාපය සංරක්ෂණ කලාපයක් ලෙස ප්රකාශයට පත් කර, සාගර පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි සංචාරකයින්ට එය නැරඹීමේ පරිසර හිතකාමී අවස්ථාවක් නිර්මාණය කරන ලෙස ද යෝජනා විය.
මෙම යෝජනාව සංචාරක කර්මාන්තයේ ප්රගතියට මෙන්ම සාගර ජෛව විවිධත්ව සංරක්ෂණයට ද ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා, ඒ සඳහා අවශ්ය විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් කඩිනමින් සම්පාදනය කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
