Spread the love

නිමල් රාජපක්ෂ-

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ විය.

මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ඊයේ (10) දිනයෙන් අවසන් වූ අතර, මෙම වැඩසටහනේ සමස්ත ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන එ්කකය විසින් අද (11) වාර්තාවක් නිකුත් කර ඇත. 

එම වාර්තාවට අනුව මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දි පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව 97,871 කි. ඉන් පරිශ්‍ර 25,626 ක් (26.2%) ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර, පරිශ්‍ර 6,268 (6.4%) ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී ඇත.

පරීක්ෂා කරන ලද පරිශ්‍ර අතරින් කර්මාන්තශාලා (Factories) සහ ඉදිකිරීම් බිම් (Construction sites) ආශ්‍රිතව වැඩිම ඩෙංගු මදුරු කීට ප්‍රතිශතයක් වාර්තා වන බව එම වාර්තාවෙන් පෙන්වා දෙන ලද අතර, පරීක්ෂාවට ලක් කළ කර්මාන්තශාලා පරිශ්‍ර වලින් 32.9% සහ ඉදිකිරීම් බිම් වලින් 21.8% ඩෙංගු මදුරු කීටයින් සිටින බව සොයාගෙන ඇත. නිවාස 89,417 ක් පරීක්ෂා කර ඇති අතර ඉන් නිවාස 5,250 මදුරු කීටයින් සිටින බවට හදුනාගෙන ඇත.

මදුරුවන් බෝවන ලෙස  පැවැති පරිශ්‍ර 21,025 ක් එම දිනයන් තුළ දී ම  පිරිසිදු කර නිවැරදි කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර, නීතිමය උපදෙස් ඇතුළත් රතු නිවේදන 3,348 ක් ද මෙම තෙදින තුල නිකුත් කර ඇත. සෞඛ්‍ය උපදෙස් පැහැර හැරි පරිශ්‍ර හිමියන් 2,401 කට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පසුගිය තෙදින තුළ නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත පරිශ්‍ර, වැඩබිම්, පාසල් වෙළඳසැල්, හිමිකරුවන් නොමැති පෞද්ගලික ඉඩම් හා ගොඩනැගිලි, රජයේ ඉඩම් හා ගොඩනැගිලි, හිස් ඉඩම් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ද  ඉලක්ක කර ගනිමින් තෙදින මදුරු මර්දන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මදුරු මර්දන එ්කකය පියවර ගන්නා ලදි.

මෙහිදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඩෙංගු සහායකයින් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග එක්ව කණ්ඩායම් වශයෙන් ගෙයින්ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා  කිරීමේ කටයුතු සිදු කරනු ලැබූ අතර,  ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම, මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන අයට එරෙහිව රතු නිවේදන නිකුත් කිරිම, නීතිමය පියවර ගැනීම මෙන්ම අධිඅවධානම් කලාප තුළ ධූමායන කටයුතු ද සිදු කරන ලදි.

එමෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද දීප ව්‍යාප්තව මෙම තෙදින තුළ  ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.

විශේෂ මදුරු මර්දන දිනයන්ට පමණක් සීමා නොවී තම අවට පරිසරය නිරතුරුව පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත් වගකීමෙන් කටයුතු කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.