Spread the love

ඉරානයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් නැති වන බවට අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

ඒ අනුව ජනතාව පෝලිම්වල සිටිමින් රස්තියාදු වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි අද (01) මාධ්‍ය හමුවකට එක් වෙමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

පෙට්‍රල් දින 37කට, ඔටෝ ඩීසල් සහ සාමාන්‍ය ඩීසල් දින 35කට ප්‍රමාණවත්ව පවතින බවත්, ගුවන්යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත් බවත් සභාපතිවරයා සඳහන් කළා.

අද දිනය ඉන්ධන බෙදා හැරීම සිදු කරන දිනයක් නොවූවත්, ජනතාව ඉන්ධන පරිභෝජනය කරන ආකාරය අනුව සියලු ම සේවකයන් සහ බවුසර් සේවයට කැඳවා තෙල් බෙදා හැරීම ආරම්භ කර ඇති බවත්, අඛණ්ඩ ව ඉන්ධන සැපයීම සිදු වන බවත් ඔහු ප්‍රකාශ කළා.

ජාවාරම්කරුවන් බූලිවලට ඉන්ධන පුරවාගෙන තෙල් රැස් කිරීමට සැලසුම් කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවත්, බූලිවලට ඉන්ධන නිකුත් නොකරන ලෙස සියලු ඉන්ධන පිරවුම්හල්වලට මේ වන විට දැනුම් දී ඇති අතර, ඉන්ධන රැස් කරන පුද්ගලයන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.