Spread the love

නිමල් රාජපක්ෂ-

දරුවන් තේරුම් ගැනීමට නම් දරුවන්ගේ මානසික මට්ටමින් හිතන්න පුරුදු විය යුතු බවත්, දරුවන් සහ වැඩිහිටියන් අතර පරතරය අවම කර ගැනීමට දරුවන් සහ වැඩිහිටියන් අතර හොද සන්නිවේදනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභ සාධක සංගමය ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ළමා දින සැමරුම් උත්සවය අමතමින් ඔක්තොම්බර් 11වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

දරුවන් තමයි අපේ ලෝකය. ඒ දරුවන්ගේ අනාගතය යහපත් කරන්නයි අපි ඔවුන් වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම ඉටු කරන්න කටයුතු කරන්නේ.

දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විදිහට අපිට තියන විශාල අභියෝගයක් තමයි දරුවන් සහ වැඩිහිටියන් අතර පවතින පරතරය අවම කර ගැනීම. වර්තමාන දරුවන් අපිට වඩා තාක්ෂණ පිළිබඳ දැනුමෙන් ඉතා ඉහළයි. ඒ නිසා වැඩිහිටියන් සහ දරුවන් සමඟ මනා සන්නිවේදනයක් පවත්වා ගනිමින් පරතරය අවම කර ගන්න එක වැඩිහිටි අපේ වගකීමක්. යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභ සාධක සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වත්සලා ආටිගල මහත්මිය ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ සුභ සාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ දරුදැරියන් සහභාගී වී සිටියේය.