නිමල් රාජපක්ෂ
සිය ධූර කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති Didier Vanderhasselt මහතා 2026 ජූනි 15 වැනි දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවේ දී, සිය ධුර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා Didier Vanderhasselt මහතා සිදු කළ කාර්යභාරය අගය කළ අතර ශ්‍රී ලංකාව තුළ බෙල්ජියම් ආයෝජන අවස්ථා තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව ද අවධානය යොමු කළාය.
අග්‍රාමාත්‍යවරිය හමුවීමට ලැබුණු අවස්ථාව පිළිබඳ සිය කෘතඥතාව පළ කළ Didier Vanderhasselt මහතා, තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර පැවති ධනාත්මක සහයෝගීතාව පිළිබඳව නැවත සිහිපත් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කරන ලදී
මෙම අවස්ථාවට නවදිල්ලි නුවර පිහිටි බෙල්ජියම් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Jonas Heirbrant , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.
