Spread the love

නිමල් රාජපක්ෂ-

නීතිය- පාලකයාටත්, දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත්, සාමාන්‍ය පුරවැසියාටත් එකයි යනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බදවා ගත් 265 දෙනෙකුගෙන් සමන්විත 13 වන ආධුනික දෙවන පෙළ ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි.

ආධුනික නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවය සහ පෙළපාලිය අගුණකොලපැලැස්ස බන්ධනාගාර පුහුණු ආයතන ක්‍රිඩාංගණයේ අද (19) පෙරවරුවේ පැවති අතර, එහිදී ආධුනික ජේලර් නිලධාරීන් 37 දෙනෙකු, ආධුනික කාන්තා නිලධාරීන් 05 දෙනෙකු, ආධුනික නියාමක නිලධාරීන් 197 දෙනෙකු, කාන්තා නියාමක නිලධාරීන් 25 දෙනෙකු විසිරයාම සිදු විණි.

විසිරයාමේ පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආධුනික ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන් අමතමින් අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා


ගෞරවනීය රාජ්‍ය සේවයට එක්වන ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. තම පුතා දියණිය බන්ධනාගාර සේවයට ඉදිරිපත් කිරීම පිළිබදව දෙමාපියන් වන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ පවුලටත් ඔබටත් ගෞරවයක් ඇතිවන ආකාරයට කටයුතු කිරීම වගකීමක් බව මතක තබා ගත යුතුයි.

බන්ධනාගාර නිලධාරියෙකු කියන්නේ කවුද? සිරකරුවෙකුගේ පිටුපසින් ගොස් දොර වසා, අගුළු දමා ආරක්ෂාව බලාගන්නා පුද්ගලයෙකු පමණක්ද? නැහැ. ඊට වඩා විශාල වගකීමක් බන්ධනාගාර නිලධාරියෙකු ලෙස ඔබ භාරගන්නවා.
ඔබ නීතිය සහ මනුෂ්‍යත්වය අතර සිටින රැකවලුන් නිසාවෙන් ඔබ ඉදිරියේ සිටින පුද්ගලයා නීතියක් උල්ලංඝනය කර තිබෙන්න පුළුවන්. ඒ තැනැත්තා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ඒ නිසා ඒ පුද්ගලයා මනුෂ්‍යයෙකු වීම නතර වෙන්නේ නැහැ. සමාජයෙන් ඈත්ව සිටින, වැරදි මාර්ගයකට ගිය, ජීවිතයේ යම් අවස්ථාවක වැරදි තීරණයක් ගත් පුද්ගලයෙකුට නැවත යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබාදීමත් බන්ධනාගාර සේවයේ වගකීමක්. ඒ අවස්ථාව අද ඔබට ලැබෙනවා.