නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව ධීවර වරාය ආශ්රිතව පසුගියාදා ( 29 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්රෑම් පන්සිය අසුතුනක (583) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව ධීවර වරාය ආශ්රිතව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර ඇත.
ශ්රී ලංකා නාවික හමුදාව වෙරළ තීරය ආශ්රිතව නිරන්තරයෙන් සිදුකරන්නාවූ විශේෂ මෙහෙයුම් හමුවේ එම බීඩි කොළ තොගය රට තුළ ට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් අතහැර පලා ගොස් ඇති බවට සැක කෙරේ.
නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
