නිමල් රාජපක්ෂ-
ශ්රී ලංකා නාවික හමුදාව, පුත්තලම ගඟේවාඩිය කළපු ප්රදේශයේ සහ සේරක්කුලිය වෙරළ ප්රදේශයේ 2026 සැප්තැම්බර් මස 21 වැනි දින රාත්රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් අටසිය විසි එකක (821) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ගඟේවාඩිය ඉප්පන්තිව් කලපු ප්රදේශයේ යාත්රා කල සැකකටයුතු ඩිංගි යාත්රාවක් (01) පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොල උර දහයක් (10) රැගත් එම ඩිංගි යාත්රාව සමඟ වයස අවුරුදු 35ක් හා 36ක් වන කල්පිටිය ආනවාසල ප්රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
අනතුරුව, සේරක්කුලිය වෙරළ ප්රදේශයේ සිදුකල වැඩිදුර සෝදිසි මෙහෙයුමක් මඟින්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් එම වෙරළ ප්රදේශයේ අතහැර දමා තිබූ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොල උර දොලහක් (12) රැගත් ඩිංගි යාත්රාවක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්රා සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
